10 එවිට ශ්‍රාවකයෝ අවුත්, ”ඔබ වහන්සේ ඔවුන්ට උපමාවලින් කතා කරන්නේ මන්දැ”යි ඇසූ හ. 11 උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: ”ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත. 12 යමෙකුට ඇත්තේ ද ඔහුට දෙනු ලැබේ; පමණටත් වඩා ඔහුට ලැබේ. යමෙකුට නැත්තේ ද ඔහුට ඇති දෙයත් ඔහුගෙන් ගනු ලැබේ. 13 එහෙයින් ඔවුන් දැක දැකත් නොදක්නා නිසා ද, අස අසාත් නොඅසන නිසා ද, වටහා නොගන්න නිසා ද ඔවුන්ට උපමා මඟින් කතා කරමි. 14 මෙසේ, යෙසායාගේ දිවැස් කීම ඔවුන් කෙරේ ඉෂ්ට වනු ඇත. එනම්:
‘ඔබ අස අසාත් තේරුම් නොගන්නහු ය;
දැක දැකත් නොදක්නහු ය.
15 මේ සෙනඟගේ සිත් අඳුරු ය;
ඔවුන්ගේ කන් වැසී ඇත.
ඔවුන්ගේ ඇස් පිය වී ඇත.
එසේ නොවී නම්, ඔවුන් ඇසින් බලා, කනින් අසා, සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත.
මම ද ඔවුන් සුවපත් කරමි’
යනු යි. 16 එහෙත්, ඔබට ඇසින් පෙනෙන නිසා ද, කනින් ඇසෙන නිසා ද, ඔබ භාග්‍යවන්ත ය. 17 සැබැවින් ම මම ඔබට කියමි, බොහෝ දිවැසිවරයන් ද දැහැමි අය ද ඔබ දකින දේ දකින්ටත්, අසන දේ අසන්ටත් ආසා වූ නමුත්, ඔවුන් ඒවා දුටුවේ වත්, ඇසුවේ වත් නැත.”