1 මෙසේ අහසත්, පොළොවත් එහි ඇති සියලු දේත් මවා නිම කරන ලද්දේය. 2 දෙවියන් වහන්සේ තමන් කළ කාර්යය සත් වන දවසෙහි නිමවා, එදින සියලු වැඩ නතර කළ සේක. 3 මෙසේ උන් වහන්සේ සත් වන දවසට ආසිරි පතා එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර වදාළ සේක. එසේ කෙළේ ඒ දවසේ උන් වහන්සේ සිය මැවීමේ කාර්යය නිමවා, වැඩ නතර කළ හෙයිනි.
4 අහසත් පොළොවත් මැවීමේ පුවත එසේ ය.
මැවීම පිළිබඳ තවත් විස්තරයක්
දෙවි සමිඳාණන් වහන්සේ bඅහස හා පොළොව මවන විට 5 පොළොවෙහි හටගත් පැළෑටියක් වත්, පැලවුණු බීජයක් වත් නො වී ය. එසේ වූයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළොව පිට වැස්ස නොඑවූ නිසාත්, භූමිය වගා කිරීමට කිසිවෙකු නොසිටි නිසාත් ය. 6 එහෙත් පොළොවෙන් ජලය මතු වී භූමි තලය පුරා ගලා ගියේය.
7 දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දුවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය.
ඒදන් උයන
8 දෙවි සමිඳාණන් වහන්සේ පූර්ව දිශාවේ, ඒදන්හි උයනක් තනා තමන් මැවූ මනුෂ්‍යයා එහි පිහිටෙවු සේක. 9 තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පලදෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක.
10 උයනට ජලය සැපයීම සඳහා ඒදන් ප්‍රදේශයෙන් ගඟක් ගලා ගියේය. උයනින් පිටත දී එය අතු ගංගා සතරකට බෙදිණි. 11 පළමු වන අතු ගංගාවේ නම පිෂොන් ය; මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ; ඒ පෙදෙසෙහි රත්රන් ඇත. 12 එහි ඇති රත්රන් අමිශ්‍ර ය; ගන්ධරස හා නඛමාණික්‍ය ද එහි ඇත. 13 දෙ වන අතු ගංගාවේ නම ගීහොන් ය; එය මුළු කූෂ් ප්‍රදේශය වටා ගලා යයි. 14 තෙ වන අතු ගංගාවේ නම ටයිග්‍රීස් ය; එය අෂුර් දේශයට පෙරදිගින් ගලා බසියි. සතර වන අතු ගංගාව යුප්‍රටීස් ය.
15 ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක. 16 තවද, උන් වහන්සේ මිනිසාට අණ කරමින්, ”උයනේ සියලු ම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. 17 එහෙත්, හොඳ-නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතු ය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත ය”යි වදාළ සේක.
18 පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ”මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක. 19 මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය. 20 මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවුවා ය.
21 එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. 22 උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. 23 එවිට මිනිසා කතා කොට,
”දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට ‘ස්ත්‍රී’ කියා කියනු ඇතැ”යි
පැවසී ය. 24 මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය. 25 මිනිසාත්, භාර්යාවත් දෙදෙනා ම නග්න ව සිටි නමුත් ඔව්හු ලජ්ජා නොවූ හ.