තීර්හි විනාශය ගැන දිවැස් වැකි
1 එකොළොස් වන අවුරුද්දේ මාසේ පළමු වන දවසේ දී සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: 2 ”මනුෂ්‍ය පුත්‍රය, තීර් ජෙරුසලමට විරුද්ධ ව කතා කොට, ‘ඔහෝ! ජනයන්ගේ දොරටුව වන ඈ කඩාදමනු ලැබුවා ය. එය මා දෙසට ඇරී තිබේ. ඈ පාළු කරනු ලැබ සිටින නිසා මට පූර්ණකම සෑහීමට ඇති වන්නේ ය’යි සරදම් කරමින් කීවා ය.
3 ”එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: එම්බා තීර්! මම නුඹට විරුද්ධ ව සිටිමි. මුහුදේ රැළ නැඟී එන්නාක් මෙන් බොහෝ ජාතීන් නුඹට විරුද්ධ ව පමුණුවන්නෙමි. 4 ඔව්හු තීර්හි පවුරු විනාශ කොට, එහි කොත් බිඳදමන්නෝ ය. මම එහි ධූලි එතැනින් අතුගාදමා, එය මුඩු පර්වතයක් කරන්නෙමි. 5 එය මුහුද මැද දැල් අතුරන ස්ථානයක් වන්නේ ය; කුමක් නිසා ද, මම ම ඒක කියමි යි දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. එය ජාතීන්ට කොල්ලයක් වන්නේ ය. 6 මුල් බිමේ සිටින ඇගේ දූවරු කඩුවෙන් මැරුම් කන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව සියල්ලන් දැනගනු ඇත.”
7 කුමක් නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ”මෙන්න, මම රාජාතිරාජ වන බබිලෝනියේ රජ වන නෙබුකද්නෙශර් අසුන් සහ රථ ද අසරුවන් සහ සමූහයන් ද බොහෝ සෙනඟ ද ඇති ව උතුරෙන් තීර්ට විරුද්ධ ව පමුණුවන්නෙමි. 8 මුල් බිමේ සිටින නුඹේ දූවරුන් ඔහු කඩුවෙන් මරා, නුඹට විරුද්ධ ව පවුරු බැඳ නුඹට විරුද්ධ ව පස් කඳු සාදා, නුඹට විරුද්ධ ව පලිස්වලින් සැදුම්ලත් ආවරණ ඉදිකරනු ඇත. 9 නුඹේ පවුරුවලට විරුද්ධ ව තමාගේ යුද්ධ යන්ත්‍ර තබා, තමාගේ පොරෝවලින් නුඹේ කොත් කඩාදමනු ඇත. 10 ඔහුගේ අශ්වයන්ගේ වැඩිකම් නිසා උන්ගේ දූවිල්ලට නුඹ වැසී යනු ඇත. කපොල්ලක් හාරා ඇති නුවරකට මිනිසුන් ඇතුළුවන්නාක් මෙන් ඔහු නුඹේ දොරටුවලින් ඇතුළු වන කල, අසරුවන්ගේත්, ගැල්වලත්, රථවලත් ශබ්දයට පවුරු සෙලවෙන්නේ ය. 11 ඔව්හු තමාගේ අශ්වයන්ගේ කුරවලින් නුඹේ වීදි පාගවා, නුඹේ සෙනඟ කඩුවෙන් මරනු ඇත. නුඹේ විශාල කුළුණු බිමට වැටෙනු ඇත. 12 ඔවුන් නුඹේ වස්තු කොල්ලකා, නුඹේ වෙළෙඳාම් බඩු උදුරාගනු ඇත. නුඹේ පවුරු බිඳදමා, විශාල මන්දිර හෙළාදමා නුඹේ ගල් ද ලී ද පස් ද මුහුදට දමනු ඇත. 13 නුඹේ ගීතිකාවල ඝෝෂාව නවත්වන්නෙමි; නුඹේ වීණාවල ශබ්දය ද තවත් නොඇසෙන්නේ ය. 14 මම නුඹ මුඩු පර්වතයක් කරන්නෙමි. නුඹ වනාහි දැල් ඇතිරීම පිණිස ස්ථානයක් වන්නෙහි ය; නුඹ යළිත් ගොඩනඟනු නොලබන්නෙහි ය. මක්නිසා ද, සමිඳාණන් වහන්සේ වන මම එය පැවසුවෙමි.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
15 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ තීර්ට මෙසේ වදාරන සේක. ”නුඹේ වැටීමේ ශබ්දයටත්, නුඹ තුළෙහි තුවාළවූවන්ගේ කෙඳිරිගෑමටත්, මිනිසුන් මරාදමනු ලබන අන්දමටත් මුහුදුබඩ වාසීහු භීතියෙන් කම්පා නොවන්නෝ ද? 16 එකල මුහුදේ සියලු ම අධිපතීහු ද තමන්ගේ සිංහාසනවලින් බැස, තමන්ගේ සළු ඉවත තබා, තමන්ගේ විසිතුරු වස්ත්‍ර ගලවා දමා, භීතියෙන් ඇලළී ගොස් හිඳගෙන මොහොතින් මොහොත වෙවුළමින්, නුඹේ ඉරණම ගැන බියට පත්වන්නෝ ය. 17 ඔවුන් නුඹ ගැන විලාපයක් කියමින්, මෙසේ කියනු ඇත. අහෝ, ‘කීර්තිමත් නුවර මුහුදෙන් අතුරුදහන් වී ඇත. එහි නාවික බලය මුහුදෙන් පහ වී ඇත. නුඹ සහ නුඹේ සෙනඟ මුහුදු පාලනය කළහු ය; වෙරළෙහි විසූ අය බිය ගැන්වූවහු ය. 18 දැන් ද්වීප වැසියෝ නුඹේ වැටීමේ දවසේ දී වේවුළති; එසේ ය, මුහුදේ සිටින ද්වීප වැසියෝ නුඹේ විනාශය ගැන තැතිගන්නෝ ය’යි නුඹ ගැන කියනු ඇත.”
19 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ”වැසියන් නැති නගර මෙන් මා නුඹ පාළු නුවරක් කර, මහ ජලස්කන්ධයකින් නුඹ වැසී යන ලෙස සයුර නුඹ පිට පමුණුවන්නෙමි. 20 පාතාල ලෝකයට බැස ගිය, පෙර විසූ සෙනඟ ළඟට ගලා බසින්නට මම නුඹට සලස්වන්නෙමි. නුඹ තුළ වැසියන් නොසිටින පිණිස ද ජීවත් ව සිටින්නන්ගේ දේශයෙහි තැනක් නො ලබන පිණිස ද පාතාල ලෝකයට බසින අය සමඟ පොළොවේ පාතාලයෙහි එනම්, පෙර සිට පාළු වූ තැන්හි නුඹ වාසය කරවන්නෙමි. 21 මම නුඹ භයානක අවසානයට පත් කරන්නෙමි. නුඹ තවත් ජීවත් ව නොසිටින්නෙහි ය. නුඹව සොයා ආවත් කිසි කලක නුඹ සම්බ වෙන්නේ නැත.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.