දුදනන්ගේ සමෘද්ධිය ගැන ප්‍රශ්නය
1 ඔබට මාගේ නඩුව ඉදිරිපත් කරන විට, සමිඳුනි, ඔබ සාධාරණය, යුක්තිය පිළිබඳ කරුණු ගැන ඔබෙන් ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි.
දුදනන්ට සැප සම්පත් අත්වන්නේ මන් ද?
ද්‍රෝහීන් සඵල වන්නේ මන් ද?
2 ගසක් මෙන් ඔබ ඔවුන් හිටවූ සේක;
ඔව්හු මුල් ඇද, වැඩී, සඵල වන්නෝ ය.
මුවින් ඔව්හු ඔබ පසසති;
සිතින් නම් ඔබෙන්, දුරු ව සිටිති.
3 එහෙත් සමිඳුනි, ඔබ මා දන්න සේක;
ඔබ මා දකින සේක.
ඔබට ඇති මාගේ ලැදිකම ද ඔබ විමසන සේක.
මරණයට නියමිත බැටළුවන් මෙන් මේ සෙනඟ වෙන් කර, ඝාතන දවසට ඔවුන් සූදානම් කළ මැනව.
4 දේශය වේළී තිබෙන්නේත්, මුළු රටේ තණ කොළ මැලවී යන්නේත් කොපමණ කාලයකට ද?
එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝ ද පක්ෂීහු ද මිය යති.
”ඔබ අපේ අවසානය නොදකින සේකැ”යි ඔව්හු කියති.
5 සමිඳාණෝ මෙසේ පිළිතුරු දුන් සේක:
”නුඹ පයින් යන මිනිසුන් සමඟ තරඟයට දුවන කල, ඔව්හු නුඹ වෙහෙසට පත් කළෝ නම්, නුඹ අශ්වයන් සමඟ දුවන්නේ කෙසේ ද?
අකුල් නැති දේශයක නුඹ වැටෙන්නෙහි නම්, ජොර්දාන් වන ලැහැබෙහි නුඹට කුමක් සිදු වේ ද?
6 නුඹේ සහෝදරයෝ, නුඹේ ම පවුලේ අය, නුඹට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය.
ඔව්හු නුඹ ප්‍රසිද්ධියේ විවේචනය කළෝ ය.
ඔවුන් නුඹ සමඟ හොඳින් කතා කළත් ඔවුන් විශ්වාස නොකරන්න.”
සෙනඟ ගැන සමිඳුන්ගේ ශෝකය
7 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
”මම මාගේ සෙනඟ අත්හැරියෙමි;
මා තෝරාගත් දේශය මම ප්‍රතික්ෂේප කෙළෙමි;
මා ප්‍රේම කරන සෙනඟ මම සතුරන් අතට පාවා දුන්නෙමි;
8 මා තෝරාගත් සෙනඟ වනගත සිංහයෙකු මෙන් මට විරුද්ධ ව හැරී ඇත;
කුරිරු ලෙස මට ගොරවා ඇත.
එබැවින් මම ඔවුන්ට ද්වේෂ කෙළෙමි.
9 මා තෝරාගත් සෙනඟ වනාහි සතුරු ගිජු පක්ෂීන්ගෙන් වට වූ උකුස්සෙකු වැන්න.
වනයේ සියලු සතුනි, ගොදුරට රැස් වන්න.
10 එඬේරු බොහෝ දෙනෙක් මාගේ මිදි වත්ත නාස්ති කළෝ ය;
මාගේ කෙත් පාගාදැමුවෝ ය;
මාගේ ප්‍රියංකර දේශය පාළුකරයක් කළෝ ය.
11 එය පාළුකරයක් වී ඇත.
එය පාළු වී මට මොරගසයි;
එය කාන්තාරයක් වී ඇත.
එහෙත්, කිසිවෙකු එය ගණන්ගන්නේ නැත.
12 නාස්තිකාරයෝ පාළුකරයේ ගස්කොළන් නැති සියලු ම කඳුවලට පැමිණ සිටිති.
සමිඳුන්ගේ කඩුවෙන් දේශය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා විනාශ කරනු ලබන්නේ ය.
එහි කිසිවෙක් සාමය නොදකිති;
එහි ජීවත් විය නොහැකි ය.
13 මාගේ සෙනඟ තිරිඟු වපුළ නමුත්, කටු ගස් කපාගත්හ;
බොහෝ වෙහෙස වූ නමුත්, ඔව්හු ප්‍රතිඵල නොලැබූ හ.
සමිඳුන්ගේ බලවත් උදහස නිසා ඔවුන්ගේ අස්වැන්න නිෂ්ඵල වී ඇත.”
අසල්වාසීන්ට සමිඳුන්ගේ පොරොන්දු
14 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ”මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට මා හිමි කර දුන් දේශය නැතිනාස්ති කළ සියලු ම නපුරු අසල්වැසියන්ට විරුද්ධ ව මට කරුණක් කියන්න ඇත. මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරාදමන්නෙමි. ඔවුන්ගේ අතින් ජුදා දේශය බේරාගන්නෙමි. 15 තවද, මා ඔවුන් බේරාගත් පසු, මම යළිත් ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන් එකිනෙකා තමතමාගේ උරුමයටත්, තමතමාගේ දේශයටත් පමුණුවන්නෙමි. 16 ඔව්හු මාගේ සෙනඟට බාල් දෙවියා ගැන දිවුරන්නට ඉගැන්වූ පරිදි, මාගේ සෙනඟගේ දහම් මඟ මුළු සිතින් පිළිගෙන, ‘ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ය’ කියා මාගේ නමින් දිවුරන්නට ඉගෙනගන්නෝ නම්, ඔව්හු ද මාගේ සෙනඟගේ කොටසක් වී සමෘද්ධිමත් වන්නෝ ය. 17 එහෙත්, යම් ජාතියක් කීකරු නොවන්නේ නම්, මම ඒ ජාතිය උදුරාදමා විනාශ කරදමමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”