ඉශ්රායෙල්ගේ අවිශ්වාසකම
1 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළසේක: ”මිනිසෙකු සිය භාර්යාව දික්කසාද කළ පසු, ඈ ඔහුගෙන් වෙන් වී ගොස් වෙන මිනිසෙකුගේ භාර්යාව වූවොත්, පළමු පුරුෂයා නැවත ඈ වෙත හැරී යනු ඇද් ද? එසේ කිරීමෙන් සහමුලින් ම දේශය අපවිත්‍ර නොවන්නේ ද? එහෙත්, ඉශ්රායෙලය, නුඹ පෙම්වතුන් බොහෝ දෙනෙකු සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. එහෙයින් මා වෙත හැරී එන්නට නුඹට පුළුවන් ද? මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ ය. 2 පාළු කඳු දෙසට ඇස් ඔසවා බලා, නුඹ වේශ්‍යාකම් නොකළ තැනක් ඇද්දැ යි බලන්න. කාන්තාරයේ බලා සිටින අරාබියෙකු සේ පෙම්වතුන් එන තෙක් නුඹ පාර අයිනේ බලා සිටියෙහි ය. නුඹේ දූෂිත වේශ්‍යාකම් නිසා නුඹ දේශය අපවිත්‍ර කෙළෙහි ය. 3 වැහිවලා වළක්වනු ලැබුවේත්, වසන්ත කාලයේ වැසි නොවැස්සේත් ඒ නිසා ය. වේශ්‍යාවකගේ පෙනුම නුඹට ඇත; එහෙත්, නුඹට කිසි ලජ්ජාවක් නැත.
4 ”දැන් පවා නුඹ මට මෙසේ හඬ නොගැසුවෙහි ද? ‘පියාණෙනි, මාගේ තරුණ වියෙහි දී ඔබ වහන්සේ මට ප්‍රේම කළ සේක. 5 ඔබ වහන්සේ මා සමඟ කෝප වන්නේ නැත; සදහට ම මා සමඟ උරණවන සේක් ද?’ ඉශ්රායෙලය, නුඹ එසේ කී නමුත් නුඹට හැකි නපුරුකම් සියල්ල ම නුඹ කර ඇත.”
පසුතැවී සිත හරවා ගැනීමේ අවශ්‍යතාව
6 ජොෂියා රජු දවස සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”අර ඉශ්රායෙල් අඟන, මට ද්‍රෝහි ව කළ දේ නුඹ දුටුවෙහි ද? ඈ උස් වූ සියලු කඳු උඩටත්, සියලු අතුපතර ඇති ගස් යටටත් ගොස් එහි දී වේශ්‍යාකම් කළා ය. 7 ‘ඈ ඒ සියල්ල කළ පසු මා වෙත හැරී එනු ඇතැ’යි ස්වාමීන් වන මම සිතුවෙමි. එහෙත්, ඈ හැරී ආවේ නැත. ඇගේ ද්‍රෝහිකාර සොහොයුරී වන ජුදා අඟන එය දුටුවා ය. 8 ඉශ්රායෙලය මට පක්ෂපාතකම අත්හැර වේශ්‍යාවක වූ බැවින් මා ඈ දික්කසාද කර පලවා හැරිය බව ජුදා අඟන දුටුවා ය. එහෙත්, ඉශ්රායෙල්ගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන ජුදා බිය නොවී ගොස් වේශ්‍යාකම් කළා ය. 9 වේශ්‍යාකම සුළු දෙයක් කොට සලකා ගල් හා ගස්වලට නමස්කාර කිරීමේ වේශ්‍යාකමින් ඈ දේශය පිළිකුල් කළා ය. 10 මේ සියල්ල කළ පසු ඉශ්රායෙල්ගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන ජුදා සැබෑ සිතින් නොව ව්‍යාජ සිතින් මා වෙත හැරී ආවා ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”
11 එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ”ඉශ්රායෙල් උන් වහන්සේට ඇති පක්ෂපාතකමින් ඉවත් ව ගිය නමුත්, ද්‍රෝහිකාර ජුදාව තරම් වරදකාරියක් නොවූවා යැ”යි වදාළ සේක. 12 උතුරු දෙසට ගොස් ඉශ්රායෙල්ට මෙසේ පවසන්නට යයි උන් වහන්සේ මට වදාළ සේක: ”ඉවත් ව ගිය ඉශ්රායෙල් ආපසු හැරී එන්න. ස්වාමීන් වන දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක. මම කරුණාවන්ත බැවින් නුඹ දෙස කෝපයෙන් නොබලන්නෙමි; සදහට ම උදහස තබා නොගන්නෙමි. 13 වරද කළ නුඹ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසූ බව පිළිගන්න. මාගේ හඬට කීකරු නොවී, හැම අතුපතර ඇති ගස් යට විදේශීය දෙවිවරුන්ට නුඹේ ආදරය දුන් බව පිළිගන්න. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.
14 ”මා කෙරෙන් වෙන් ව ගිය දරුවෙනි, මා නුඹලාගේ ස්වාමීන් වන බැවින් මා වෙත හැරී එන්න. මම නගරයකින් එක් කෙනෙකු ද වංශයකින් දෙදෙනෙකු ද නුඹලා අතරෙන් පිළිගෙන සියොන් කන්දට පමුණුවන්නෙමි. 15 මට හිතවත් පාලකයන් නුඹලාට දෙන්නෙමි. ඔවුන් ප්‍රඥාවෙන් ද සිහි නුවණින් ද නුඹලා පෝෂණය කරනු ඇත. 16 මෙසේ නුඹලා දේශයේ වැඩි වී බහුල වූ විට, ගිවිසුම් කරඬුව ගැන සෙනඟ තවත් කතා කරන්නේ වත්, ඒ ගැන සිහි කරන්නේ වත් නැත; තවත් ගිවිසුම් කරඬුවක් ඔවුන් සාදාගන්නේ වත් නැත. 17 ඒ කාලය පැමිණි විට ජෙරුසලම සමිඳාණන් වහන්සේගේ සිංහාසනය යයි කියනු ලබන්නේ ය. සියලු ජාතීන් සමිඳාණන් වහන්සේ වැඩ සිටින ජෙරුසලමේ රැස් වනු ඇත. ඔව්හු තමන්ගේ නපුරු සිතිවිලි අනුව මුරණ්ඩුකමින් තවත් නොහැසිරෙන්නෝ ය. 18 ඒ කාලයේ දී ජුදා වංශය ඉශ්රායෙල් වංශය සමඟ එක් වී උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුම කර දෙන ලද දේශයට එක් ව එනු ඇත.”
දේව රූප නමස්කාරය
19 ”ඉශ්රායෙලය, නුඹ මාගේ දරුවා වශයෙන් පිළිගෙන, ලොවේ ඇති ඉතා ම අලංකාර, ප්‍රියංකර දේශය නුඹට උරුම කොට දෙන්නෙමි. නුඹ මට ‘පියාණෙනි’යි අමතමින් මා වෙතින් ඉවත් ව නොයනු ඇතැ යි මම සිතුවෙමි. 20 එහෙත්, ඉශ්රායෙල් වංශය, භාර්යාවක ඇගේ පුරුෂයාට ද්‍රෝහිකම් කර වෙන් වී යන ලෙස නුඹලා මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහු ය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.
21 ”පාළු කඳු මුදුනෙහි හඬක් ඇසෙයි. ඒ වනාහි, ඉශ්රායෙල් සෙනඟ පවිටු මඟ ගිය නිසාත්, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කළ නිසාත් නැඟෙන ඔවුන්ගේ විලාපයේ හා කන්නලව්වේ හඬ ය. 22 සමිඳාණන් වහන්සේට විපක්ෂ ව ගිය දරුවෙනි, ආපසු හැරී එන්න. මම නුඹලාගේ ද්‍රෝහිකම නවත්වා නුඹලා සුව කරන්නෙමි. එවිට නුඹලා මෙසේ පිළිතුරු දෙන්නහු ය: ‘මෙන්න අපි ඔබ වහන්සේ වෙත පැමිණ සිටිමු; මන්ද, ඔබ වහන්සේ අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය. 23 සැබැවින් ම හෙල් මුදුන්හි මායාව ද කඳු මුදුන්හි මධුපානෝත්සවය ද කරන සෙනඟගෙන් වත් අපට පිහිටක් නැත. ඉශ්රායෙල්ට සැබැවින් ම ගැළවීම ලැබෙන්නේ ස්වාමීන් වන දෙවියන් වහන්සේගෙන් ය. 24 බාල් නම් නින්දිතකමේ දෙවියා අපේ බාල වයසේ පටන් අපේ පියවරුන්ගේ වස්තු ද ඔවුන්ගේ බැටළුවන් සහ ගවයන් ද ඔවුන්ගේ පුත්‍රයන් සහ දූවරුන් ද කාදැමුවේ ය. 25 අපි ලජ්ජාවෙන් වැතිර සිටියෙමු. අපේ නින්දාව අප වසාගනී වා. මන්ද, අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපි ද අපේ පියවරු ද අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු.’ ”