1 ”ඒ කාලයේ දී ජුදා රජවරුන්ගේත්, අධිපතීන්ගේත්, පූජකයන්ගේත්, දිවැසිවරුන්ගේත්, ජෙරුසලම් වැසියන්ගේත් ඇටකටු සොහොන් ගෙවලින් එළියට ගෙනෙනු ලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. 2 ඒ ඇටකටු, ඒ අය ප්‍රේම කොට සේවය කළ, පසුපස ගොස් පේන අසා නමස්කාර කළ, ඉරත් සඳත් අහසේ සෙසු ආකාශ වස්තුත් ඉදිරියේ අතුරා තබනු ඇත. ඒවා එකතු කොට වළලනු වෙනුවට, පොළොව මතුපිට කසළ වන්නේ ය. 3 මේ නපුරු පරම්පරාවෙන් ඉතිරි වන මා විසින් විසුරුවා හරින ලද තැන්වල ඉතිරි ව සිටින අය, ජීවත් වීමට වඩා මැරෙන්නට කැමැති වනු ඇත. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.”
පාපය හා ඊට දඬුවම
4 සෙනඟට කියන ලෙස සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: ”වැටෙන අය නැඟිටින්නේ නැද් ද? නොමඟ ගිය අය හැරී එන්නේ නැද් ද? 5 එසේ නම් ජෙරුසලම් ජනයෙනි, නුඹලා මා කෙරෙන් ඉවත් ව ගියේ මන් ද? නිරන්තරයෙන් ම ඉවත් ව යන්නේ මන් ද? මායාවට වසඟ වී; ‘අප ආපසු හැරී එන්නේ නැතැ’යි නුඹලා කියන්නහු ය. 6 මම සාවධාන ව සවන් දිනිමි. එහෙත්, නුඹලා සැබෑව කතා නොකළහු ය. ‘මා කෙළේ කුමක් ද’ කියා අසමින්, තමාගේ දුෂ්ටකම ගැන පසුතැවිලි වන කිසිවෙක් මෙහි නැත. අශ්වයා යුද්ධයට වේගයෙන් දුවන සේ ඔව්හු සියල්ලෝ ම තමන් රිසි මඟට හැරී දුවති. 7 අහසේ ඉගිලෙන මානකොකා ඔබමොබ යනෙන කාලය දනියි; කොබෙයියා ද වැහිලිහිණියා ද කොකා ද ආපසු පැමිණීමේ කාලය දැන සිටිති. එහෙත් මාගේ සෙනඟ, නුඹලා මාගේ අණපණත් නොදන්නහු ය. 8 ‘අපි ප්‍රඥාවන්තයෝ ය; සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අප වෙත ඇත්තේ ය’යි නුඹලා කියන්නේ කොහොම ද? බලන්න, වංක විනයධරයන් ව්‍යවස්ථාව බොරු කර ඇත. 9 නුඹලාගේ ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ අසු වී කැළඹී සිටිති. ඔව්හු මාගේ වචන එපා කළෝ ය. ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක් ද? 10 එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ට ද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්න අයට ද දෙන්නෙමි. මන්ද, ලොකු කුඩා අය සැවොම අයුතු ලාභ ගැනීමට කෑදර වෙති; දිවැසිවරුන් පටන් පූජකයන් දක්වා සියල්ලෝ ම වංචාකම් කරති. 11 සාමය නැති විටත්, ‘සාමය, සාමය’ කියමින් ඔව්හු මාගේ සෙනඟගේ තුවාළයට මතුපිටින් පිළියම් කරති. 12 මාගේ සෙනඟෙනි, මා පිළිකුල් කරන දේ නුඹලා කළ නිසා ලජ්ජා වූවහු ද? නැත. නුඹලා කොහෙත් ම ලජ්ජා වුණේ වත්, නුඹලාට නින්දාව දැනුණේ වත් නැත. ඒ නිසා, නුඹලා වැටෙන්නන් අතරෙහි වැටෙනු ඇත; නුඹලාට දඬුවම් පැමිණෙන කාලයේ දී නුඹලා පැකිළ වැටෙනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
13 ”මිදි වැලේ මිදි පල නැති, අත්තික්කා ගසේ ගෙඩි නැති, කොළ පවා වියළී ඇති, ඔවුන්ට දුන් දේ පහ ව ගොස් ඇති සමයේ මම ඔවුන් රැස් කරන්නෙමි.”
14 සෙනඟ මෙසේ අසති. ”අපි කුමට නිකම් හිඳිමු ද? අපි එක්රැස් වී, පවුරු ඇති නගරවලට වැද එහි මැරෙමු. අප සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා, අපේ දෙවි ස්වාමීන් වහන්සේ අප විනාශයට පත් කොට, අපට බීමට වස දිය දී ඇත. 15 අපි සාමය පැතුවෙමු; එහෙත්, එයින් කිසි වැඩක් නො වී ය. සුව වීමේ කාලයක් ගැන බලා සිටියෙමු. එහෙත්, පැමිණ ඇත්තේ භීතිය පමණි. 16 දාන්හි සිට අප සතුරන්ගේ අශ්වයන්ගේ හූංකාරය අපට ඇසුණේ ය; උන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුළයි. ඔවුන් ඇවිත් සිටින්නේ දේශය සහ එහි තිබෙන සියල්ල ද නගර සහ එහි වසන වැසියන් ද විනාශ කරන පිණිස ය.”
17 සමිඳාණන් වහන්සේ කතා කොට, ”මෙන්න, මම කිසි මන්ත්‍රයකට වශී නොවන සර්පයන් ද පොළඟුන් ද නුඹලා අතරට එවන්නෙමි, උන් නුඹලාට දෂ්ට කරනු ඇතැ”යි වදාළ සේක.
සෙනඟ ගැන ජෙරමියා තැවීම
18 අහෝ! මාගේ දුක සංසිඳුවන්නට බැරි තරම් ය; මාගේ සිත කම්පා වී ඇත. 19 සවන් දෙන්න, දේශය මුළුල්ලේ මාගේ සෙනඟ මොරගසමින්, ”සමිඳාණන් වහන්සේ සියොන්හි නැද් ද? සියොන්හි රජතුමා එහි නැද්දැ”යි අසන හඬ දස දෙසින් මට ඇසේ. ඔවුන්ගේ රජ්ජුරුවන් වන සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”නුඹලා තමන් කැපූ පිළිමවලින් ද විදේශිකයන්ගේ නිෂ්ඵල රූපවලින් ද කුමට මා කෝප කළහු දැ”යි අසන සේක. 20 සෙනඟ පිළිතුරු දෙමින්, ”අස්වැන්න නෙළන කාලය පසු විය; ග්‍රීෂ්ම කාලය කෙළවර විය; එහෙත්, අපට ගැළවීම ලැබී නැතැ”යි කියන්නෝ ය.
21 ”මාගේ සෙනඟගේ තුවාළය නිසා මම තුවාළ ලැබ ශෝකයට පත් ව සිටිමි. මම අන්ත වියවුල්කමට ලක් වී සිටිමි. 22 ගිලියද්හි ගුගුල් නැද් ද? එහි වෙදෙක් නැද් ද? මාගේ සෙනඟ සුවය ලබා නැත්තේ මන්දැ”යි සමිඳාණන් වහන්සේ අසන සේක.