ජෝබ් – 1 වන පරිච්ඡේදය –

ප්‍රස්තාවනාව

1 යටගිය දවස ජෝබ් නම් මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි වාසය කෙළේ ය. ඔහු වනාහි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටි කෙනෙකි. 2 ඔහුට පුත්‍රයෝ සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ. 3 සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය.
4 ඔහුගේ පුත්‍රයෝ එකිනෙකා තම තමාට නියමිත දවසෙහි තම තමාගේ ගෙදර මංගල භෝජනයක් පිළියෙළ කිරීම ද ඊට සහභාගි වන ලෙස තම සහෝදරියන් තිදෙනාට ආරාධනා කිරීම ද ඔවුනොවුන්ගේ සිරිතක් ලෙස කළහ. 5 මංගල භෝජන සංග්‍රහ වටය නිම වූ එක එක වාරයේ දී ජෝබ් තම පුත්‍රයන් වෙත පණිවුඩ යවා ඔවුන් ගෙන්වා, ඔවුන්ගේ පවිත්‍රවීම පිණිස පසු දා අලුයම නැඟිට ඔවුන් එකිනෙකා වෙනුවෙන් දවන යාග පූජා පුද කෙළේ ය. එසේ කෙළේ, යම් හෙයකින් ඔවුන් තමන් සිතින් පව් කොට, නොදැනුවත් ව දේවාපහාස කිරීමේ වරදට වැටෙන්නට ඇද්දැ යි ජෝබ් සිතූ බැවිනි. හැම වාරයෙහි ම ඔහු මෙසේ කෙළේ ය.

දිව්‍ය රාජ සභාව

6 තවද, එක් දිනෙක සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ අවස්ථාවේ දී විරෝධකාරී සාතන් ද ඔවුන් අතර විය. 7 ”නුඹ දැන් මෙහි පැමිණියේ කොහේ සිට දැ”යි සමිඳාණන් වහන්සේ සාතන්ගෙන් විචාළ සේක. සාතන් සමිඳාණන් වහන්සේට උත්තර දෙමින්, ”මම මහ පොළොවේ තැනින් තැන සැරිසරා මෙහි ආවෙමි”යි කී ය.
8 එවිට සමිඳාණන් වහන්සේ, ”මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසි අයෙක් මුළු මහ පොළොවෙහි නැතැ”යි වදාළ සේක.
9 සාතන් උන් වහන්සේට පිළිතුරු දෙමින්, ”ජෝබ් දේව ගරුබිය ඇති කෙනෙකු ව කල් යවන්නේ යම් හේතුවක් ඇති නිසා නොවේ ද? 10 ඔබ ඔහු ද ඔහුගේ පවුල ද සතු සකල සම්පත් වටා පවුරු බැඳ රැකවරණය දී නැද් ද? ඔහුගේ හැම වැඩ කටයුතුවලට ඔබ ආශිර්වාද කොට ඇත. එබැවින් දේශය මුළුල්ලෙහි ඔහුගේ සම්පත් අති විශාල ය. 11 හොඳයි, ඔබේ හස්තය දිගු කොට ඔහු සතු සියල්ලට පහර දී බලන්න. එසේ කළොත්, ඔහු ඔබේ මුහුණට ම ඔබට සාප කරනු ඇත. එය මට සිකුරු ය”යි පැවසී ය.
12 එවිට සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ”හොඳයි, ජෝබ් සහ ඔහු සතු සියල්ල දැන් ඉතින් නුඹේ බලයට යට ය. හැබැයි, එකක් කියමි; ඔහුගේ ඇඟට පමණක් අත තබන්නට නුඹට අවසර නැතැ”යි සාතන්ට වදාළ සේක. එවිට සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් ඉවත් ව ගියේ ය.

ජෝබ්ට පැමිණි විපත්ති

13 එක් දිනක් ජෝබ්ගේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටිය දී මෙසේ සිදු විය: 14 පණිවුඩකාරයෙක් ජෝබ් වෙත වහා දිව අවුත්, ”ගවමහිෂයන් සී සාමින් ද කොටළු දෙනුන් තණ කමින් ද සිටියදී 15 ෂෙබාවරු උන් වෙත කඩා පැන, උන් පැහැරගෙන ගියෝ ය. මෙහෙකරුවන් කඩුවෙන් මැරූ හ. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
16 ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, ”අහසින් අකුණක් වැදී බැටළුවන් සහ එඬේරුන් පිට ඇවිළී ඔවුන් දවා දැමී ය. මෙපවත් ඔබට සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
17 ඔහු කතා කරමින් සිටියදී ම තවත් කෙනෙක් අවුත්, ”කල්දිවරු කණ්ඩායම් තුනකට සෑදී ඔටු රංචු වෙත පැමිණ පහර දී උන් පැහැරගෙන ගියෝ ය; මෙහෙකරුවන් කඩු පහරින් මරාදැමූ හ. ඔබට මෙපුවත සැළ කිරීමට ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
18 ඔහු කතා කරමින් සිටියදී ම සතර වැනි කෙනෙක් ද අවුත්, ”ඔබේ දූ පුතුන් තම වැඩිමහල් සහෝදරයාගේ නිවෙසෙහි ආහාර වළඳමින්, මුද්‍රික පානය බොමින් සිටියදී, 19 කාන්තාරය හරහා චණ්ඩ මාරුතයක් හමා අවුත් ගෙයි සතර කොණට වැදුණේ ය. එය දූ පුතුන් පිට කඩා වැටී ඔව්හු මළො‍් ය. මේ පුවත සැළ කිරීමට යම්තම් ඉතිරි වූයේ මා පමණකි”යි කී ය.
20 මෙපවත් ඇසූ ජෝබ් නැඟිට, දුක දරාගත නොහැකි ව තම වස්ත්‍ර ඉරාගෙන, හිස මුඩු කොට, මුණින් වැටී වැඳ මෙසේ කී ය:
21 ”මම කිසිත් නැති ව මව් කුසින් ආවෙමි;
කිසිත් නැති ව පෙරළා යන්නෙමි.
සමිඳාණෝ දුන් සේක;
සමිඳාණෝ ගත් සේක;
සමිඳුන් නමට ගරු පැසසුම් වේ වා.”
22 මේ සියල්ලේ දී ජෝබ් පව් කෙළේත් නැත, දෙවියන් වහන්සේ පිට දොස් තැබුවේත් නැත.