අභය භූමි නගර
(ගණන් 35:9-28; ජෝෂු: 20:1-5)
1 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි උන් වහන්සේ ජනතාව වනසාදැමූ විට, ඔබ ඒවා අයිති කොටගෙන, ඒවායේ නගර සහ ගෙවල පදිංචි වූ පසු, 2 ඔබ උරුම කොටගත් ඒ දේශයේ නගර තුනක් වෙන් කළ යුතු ය. 3 දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන එම දේශය කොටස් තුනකට බෙදා, ඕනෑ ම මිනීමරුවෙකුට ඒවාට පලා යනු සඳහා මඟක් පිළියෙළ කළ යුතු ය. 4 ඒවාට පලා ගොස් පණ බේරාගත හැක්කේ පහත දක්වන අන්දමට කෙනෙකු අතින් මරණයක් වූ විට ය. කලින් වෛරයක් නොමැති ව, අදහස් නොකර යමෙකු මැරුවොත් ඔහුට එලෙස පලා යත හැකි ය. 5 නිදසුනක් නම් මෙය වේ: යමෙකු තව කෙනෙකු සමඟ ලී කැපීමට වනයට ගොස්, ගසක් කපනු පිණිස අත ඔසවා පොරොවෙන් පහර දෙන විට, පොරෝ තලය මිටෙන් ගැලවී අනිත් තැනැත්තාගේ ඇඟට වැදී ඔහු මළොත්, ගස කැපූ තැනැත්තාට ඒ නගරවලින් එකකට පලා ගොස් පණ බේරා ගත හැකි ය. 6 පලා යාමට ඇත්තේ එක නගරයක් නම්, එය බොහෝ දුර වී නම්, පළිගැනීමේ අයිතිය හිමි, මරන ලද තැනැත්තාගේ ලේ නෑයෙකුට, තමා දැඩි කෝපයෙන් සිටිය දී මැරූ තැනැත්තා ලුහුබැඳ ගොස්, ඔහු අල්ලාගෙන, මරා දමන්නට හැකි වේ. එහෙත්, එවැන්නෙකු කලින් වෛර බැඳ නොසිටි බැවින්, ඒ තැනැත්තා මරාදැමීම යුතු නොවේ. 7 එබැවින් ඔබේ ප්‍රයෝජනයට නගර තුනක් වෙන් කළ යුතු යයි මම අණ කරමි.
8 ”උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ප්‍රකාර ඔබේ දේශ සීමා පළල් කොට, උන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ පරිදි මේ මුළු රට ම ඔබට දානය කරන සේක. 9 එසේ කරන්නේ, මා ඔබට අද දින දෙන අණපණත් සියල්ලට ඔබ අවනත වී ඒවා පිළිපැද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරමින්, උන් වහන්සේට සදහට ම කීකරු වන්නහු නම් පමණකි. ඉන්පසු පෙර කී අභය භූමි නගර තුනට අමතර ව තව තුනක් එකතු කළ යුතු ය. 10 එවිට දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන ඒ ඔබේ දේශයෙහි ඔබ නිදොස් ලේ නොවගුරන්නහු ය.
11 ”එහෙත් යමෙකු අනෙකකුට වෛර බැඳ, ඔහු එන තෙක් රැක සිට, ඔහුට විරුද්ධ ව නැඟිට, මැරෙන්නට පහර දී, ඒ නගරවලින් එකකට පලා ගියොත්, 12 නගරයේ ප්‍රජා මූලිකයන්, මිනිසුන් යවා ඔහු ගෙන්වාගෙන, ඔහු මරාදමන පිණිස, මිනීමැරීම ගැන පළිගන්න තැනැත්තාට ඔහු පාවා දිය යුතු ය. 13 ඔබ ඔහුට අනුකම්පා නොදක්වා, ඉශ්රායෙල් ජනයා අතරෙන් නිදොස් ලේ හැළීම පිළිබඳ වරදකරු නෙරපාදැමිය යුතු ය. එවිට ඔබට ශුභසිද්ධිය සැලසෙන්නේ ය.”
පුරාණ වතු මායිම්
14 ”දෙවි සමිඳාණන් වහන්සේ ඔබට හිමි කරගන්නට දෙන දේශයෙහි ඔබට උරුම වන වතුපිටිවල, පුරාණයේ පටන් පිහිටුවා ඇති, ඔබේ අසල්වැසියාගේ වතු මායිම් ඉවත් නොකළ යුතු ය.”
සාක්ෂිකරුවන් පිළිබඳ නීතිය
15 ”යමෙකු කළ අපරාධයක් හෝ වරදක් හෝ ගැන තීන්දු කිරීමට එක සාක්ෂිකරුවෙක් ප්‍රමාණ නොවේ. සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ වචනය පිට යම් කරුණක් තීරණය කළ යුතු වේ. 16 යමෙකුට විරුද්ධ ව බොරු වරද තැබීමට බොරු සාක්ෂිකරුවෙකු ඉදිරිපත් වුවහොත්, 17 ඒ නඩුවට සම්බන්ධ දෙදෙනා ම සමිඳාණන් වහන්සේ ඉදිරියට, එනම්, එකල නිල දරන පූජකවරුන් සහ විනිශ්චයකරුවන් ඉදිරියට, පැමිණිය යුතු ය. 18 විනිශ්චයකරුවන් නඩුව හොඳින් විභාග කළ පසු, සාක්ෂිකරු බොරු සාක්ෂිකරුවෙකු බවත්, තම සොහොයුරාට විරුද්ධ ව ඔහු බොරු සාක්කි දුන් බවත් පෙනී යන්නේ නම්, 19 සාක්ෂිකරු විත්තිකරුට කරන්නට අදහස් කළ දෙය, සාක්ෂිකරු හට ම දිය යුතු ය. මෙලෙස ඔබ, ඔබ අතරෙන් මෙවැනි නපුරුකම් පහකළ යුතු ය. 20 සෙසු අය ද මේ ගැන අසා, බිය වී, මෙවැනි නපුරුකම් ඔබ අතර තවදුරටත් නොකරන්නෝ ය. 21 කිසි ම අනුකම්පාවක් නොදක්වන්න; හිලව් වශයෙන් පණට පණ ද ඇසට ඇස ද දතට දත ද අතට අත ද පයට පය ද දිය යුතු ය.”