ධර්මදේශකයා – 2 වන පරිච්ඡේදය –

සැප සම්පත්වල නිස්සාර බව

1 මම විනෝදය සොයා, එයින් ප්‍රමුදිත වීමට සිතා ගතිමි. එය ද නිස්සාර දෙයක් විය. 2 සිනාව පිස්සුවක් බව ද විනෝදයෙන් සෙතක් නොවන බව ද මට පෙනිණි. 3 ප්‍රඥාව සෙවීමේ අදහස තිබිය දී ම මුළු මිනිස් ලොවෙහි මනුෂ්‍යයා යා යුතු යහ මඟ කුමක් ද කියාත්, මිනිස් වර්ගයාට ප්‍රීතිය දෙන්නේ කුමක් ද කියාත් දැනගන්න පිණිස මාගේ සිත ගත පිනවීමට මම තීරණය කර ගතිමි.
4 මම උදාර දේ කෙළෙමි; මම මන්දිර ගොඩනඟා, මිදිවතු වවාගත්තෙමි; 5 මම ගෙවුයන් තනා නානාප්‍රකාර පලතුරු ඒවායෙහි වගා කෙළෙමි. 6 ගස් වැවෙන ගෙවතුවලට වතුර සපයන පිණිස මම දිය පොකුණු සාදා ගතිමි. 7 මම දාසදාසීන් මිලේට ගතිමි. මාගේ ගෙයි ම උපන් වැඩකරුවෝත් සිටියෝ ය. මින් පෙර ජෙරුසලමෙහි විසූ අන් කිසිවෙකුට වඩා ගව පට්ටි හා එළු බැටළු පට්ටි මට වූ හ. 8 මාගේ විජිතයෙහි වූ රාජකීය භාණ්ඩාගාරවලින් රන් රිදී ද වෙන සම්පත් ද රැස් කරගතිමි. ගායක ගායිකාවෝ මට ගී ගැයූ හ. මිනිසෙකුගේ ප්‍රීතිය සපුරාලීමට ඇති පමණ වනිතාවන් මම සපයාගතිමි.
9 මෙසේ ජෙරුසලමෙහි මට පළමුවෙන් සිටි අන් හැමට වඩා ඉහළින් මම වැජඹුණෙමි. ප්‍රඥා මහිමය මා තුළ අඩු නො වී ය. 10 මා සිතූපැතූ කවර දෙයක් වුව ද මම ලබාගතිමි. මට රිසි වූ කිසි දෙයකින් මට අඩුවක් නො වී ය. ම සිත යොදා මා සාදාගත් හැම දෙය ගැන ම මම ආඩම්බර වීමි. ඒ හැම දෙය මාගේ සැපත විය. 11 එහෙත්, මා කළ හැම කාර්යයක් ම, වෙහෙස දරා කළ මාගේ හැම කටයුත්තක් ම දෙස මා බැලූ විට, ඒ සියල්ල නිස්සාර, හිස් ප්‍රයත්න බව ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් බව ද දුටුවෙමි.

ඥානය පවා නිෂ්ඵල ය

12 එවිට මම ප්‍රඥාව, මෝහය හා අඥානකම කවරේ දැ යි සිතන්නට පටන් ගතිමි. මන්ද, එක රජෙකු කරන්නේ පෙර රජවරුන් කළ දේ ම ය. 13 අන්ධකාරයට වඩා ආලෝකය උතුම් සේ අඥානකමට වඩා ප්‍රඥාව උතුම් බව දැන් මට පෙනේ. 14 නුවණැති අය නුවණැසින් බලා ගමන් කරති. අනුවණ අය අඳුරෙහි ඇවිදිති. එහෙත්, ඒ දෙගොල්ලගේ ම ඉරණම එක ය. 15 එකල, ”අනුවණයාට සිදු වූ දේ ම මටත් සිදු වන්නේ ය; ඉතින් මාගේ නුවණින් කුමන වැඩක් සිදු වී දැ”යි මම කල්පනා කෙළෙමි. එවිට, ”මාගේ ප්‍රඥාවත් නිස්සාර දෙයකැ”යි මට පෙනිණි. 16 මන්ද, මතු පැමිණෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින් ම අමතක වී යන බැවින්, අඥානයා ගැන මෙන් ම ප්‍රඥාවන්තයා ගැනත් මතකයක් නොතිබෙනු ඇත. අඥානයා මෙන් ම ප්‍රඥාවන්තයාත් නසිනු නියත ය. 17 මෙසේ මුළු මිනිස් ලොවෙහි හැම කටයුත්තක් ම අයහපත් බව මට පෙනිණි. මම ජීවිතයට අප්‍රිය කෙළෙමි. හැම දෙය ම සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් නිසරු බව දිටිමි.
18 මුළු මිනිස් ලොවෙහි මා ගත් සියලු ප්‍රයත්නයන්, මාගේ ඇවෑමෙන් පහළ වන කෙනෙකුට තබා යා යුතු බැවින්, හැම දෙයක් ගැන ම මම කලකිරුණෙමි. 19 ඔහු ප්‍රඥාවන්තයෙක් වේ ද අඥානයෙක් වේ දැ යි කියන්නට දන්නේ කවරෙක් ද? මුළු මිනිස් ලොවෙහි වීර්යයෙන් හා ප්‍රඥාවෙන් මා ඉටු කළ හැම දෙය ම ඔහු සන්තක වනු ඇත. මෙය ද නිස්සාර දෙයකි. 20 එබැවින් මා මුළු මිනිස් ලොවෙහි කළ මාගේ මුළු කාර්යය ගැන මාගේ සිත කලකිරෙන්නට වන. 21 මනුෂ්‍යයෙක් ප්‍රඥාව, අවබෝධය හා දක්ෂතාව ඇති ව සිය කාර්ය ඉටු කරයි. එහෙත්, කිසි වෙහෙසක් නොදැරූ වෙන කෙනෙකුට ඒවායේ ප්‍රතිඵල තබා යන්නට ඔහුට සිදු වෙයි. මෙය ද නිෂ්ඵල, අසාධාරණ දෙයකි. 22 මනුෂ්‍යයා මුළු මහත් පොළොවෙහි වෙහෙස දරා කරන කටයුතුවලින් හා මානසික ශ්‍රමයෙන් ඔහුට කුමන වැඩක් වේ ද? 23 ජීවිතය මුළුල්ලේ ම ඔහුට ඇත්තේ කරදර හා සිත් වේදනාව පමණ ය. රාත්‍රියේ දී පවා ඔහුගේ සිතට නිස්කලංකයක් නැත. මෙය ද නිෂ්ඵල දෙයකි.
24 මිනිසෙකුට ඇති හොඳ ම දෙය නම්, තමා උපයාගත් දෙයින් සෑහීමට පත් ව, කා බී සැප සෙල්ලම් කිරීම ය. එහෙත්, එය ද දෙවියන් වහන්සේගෙන් එන වරමක් බව දිටිමි. 25 මන්ද, උන් වහන්සේගෙන් වෙන් ව කෑම අනුභව කරන්නටත්, සැප භුක්ති විඳින්නටත් පුළුවන් කෙනෙක් සිටිත් ද? 26 දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින මනුෂ්‍යයාට උන් වහන්සේ ප්‍රඥාවත්, අවබෝධයත්, ප්‍රීතියත් දෙන සේක. එහෙත්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින අයට හිමි වන පිණිස, උන් වහන්සේ පව්කාරයාට වෙහෙස දරා වස්තු රැස්කර තැබීමට සලස්වන සේක. මෙය ද නිෂ්ඵල දෙයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW