1 එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක. 2 දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය. 3 එවිට පරීක්ෂාකාරයා උන් වහන්සේ වෙත අවුත්, ”ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩි, පාන් ගෙඩි වන්න අණ කළ මැනවැ”යි කී ය. 4 උන් වහන්සේ උත්තර දෙමින්,
” ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව;
දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’
කියා ලියා ඇතැ”යි වදාළ සේක.
5 එවිට යක්ෂයා උන් වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, 6 ”ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්, පහතට පනින්න;
‘උන් වහන්සේ සිය දූතයන්ට ඔබ ගැන අණ දෙනු ඇත.
ඔබේ පය කිසිසේත් ගලක නොවදින පිණිස, ඔව්හු සිය අත්වලින් ඔබ උසුලනු ඇතැ’යි
ලියා තිබේ ය”යි උන් වහන්සේට කී ය. 7 ජේසුස් වහන්සේ ද කතා කොට, ” ‘තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න’ කියාත් ලියා ඇතැ”යි වදාළ සේක.
8 යළිත් යක්ෂයා උන් වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රට රාජ්‍යයන් සහ ඒවායේ යසශ්‍රිය උන් වහන්සේට පෙන්වා, 9 ”ඔබ දණින් වැටී මට නමස්කාර කරන්නෙහි නම්, මේ සියල්ල ඔබට දෙන්නෙමි”යි උන් වහන්සේට කී ය. 10 එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්, ”සාතන් පලා යව!
‘නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න;
උන් වහන්සේට පමණක් සේවය කරන්න’
කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.
11 එකල යක්ෂයා උන් වහන්සේ අත්හැර ගියේ ය. දේව දූතයෝ අවුත් උන් වහන්සේට උපස්ථාන කළහ.