යෙසායා – 11 වන පරිච්ඡේදය –

සාම රාජ්‍යය

1 ”දාවිත්ගේ රජ පෙළපත නමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේ ය.
එහි මුල්වලින් අලුත් පැළයක් නැඟී එන්නේ ය.
2 සමිඳුන්ගේ ආත්මානුභාවය වන ප්‍රඥාව හා නුවණ ද අනුශාසනා බුද්ධිය හා බලය ද දැනගැනීම හා දේව ගරුබිය ද එතුමාණන් කෙරෙහි පිහිටන්නේ ය.
3 එතුමන්ට ගරුබිය පෑම එතුමාණන්ගේ ප්‍රීතිය වන්නේ ය.
එතුමාණන් තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේ වත්,
කනට ඇසෙන හැටියට විනිශ්චය කරන්නේ වත් නැත.
4 එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට,
යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක.
එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක.
වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.
5 යුක්තිය එතුමාණන්ගේ ඉඟපටිය ද විශ්වාසවන්තකම බඳපටිය ද වනු ඇත.
6 වෘකයා බැටළුවා සමඟ වාසය කරන්නේ ය;
දිවියා එළු පැටවා සමඟ ලගින්නේ ය.
සිංහ පැටියා ද වහු පැටියා ද එකට කෑම කන්නෝ ය;
කුඩා දරුවෙක් උන් ගෙන යන්නේ ය.
7 එළදෙන හා වළසා එක්ව තණ කන්නෝ ය;
උන්ගේ පැටව් එකට ලගින්නෝ ය.
සිංහයා හරකා මෙන් පිදුරු කන්නේ ය.
8 කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේ ය.
සිඟිති දරුවා පොළඟාගේ ගුල පිට අත තබන්නේ ය.
9 සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්දේ සීමාව තුළ කිසි නපුරක් වත්, අනතුරක් වත් නොවන්නේ ය.
මුහුද, ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.”

වහල්කමට ගෙන ගිය අය ආපසු පැමිණීම

10 දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය. 11 ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.
12 සමිඳාණෝ, විසිරී ගොස් සිටින ඉශ්රායෙල් හා ජුදා සෙනඟ පොළොවේ සතර කොනින් ආපසු එක් රැස් කරන බවට ජාතීන් ඉදිරියෙහි සංඥාවක් ඔසවන සේක.
13 ඉශ්රායෙල් ජුදාට ඊර්ෂ්‍යා කරන්නේ වත්, ජුදා ඉශ්රායෙල්ට සතුරුකම් කරන්නේ වත් නැත.
ඉශ්රායෙල්හි ඊර්ෂ්‍යාව පහ ව යන්නේ ය.
ජුදාට පීඩා කරන්නෝ විනාශ කරනු ලබන්නෝ ය.
14 ඔව්හු එකතු වී බටහිර වසන පිලිස්තිවරුන්ට පහර දෙන්නෝ ය;
නැගෙනහිර වසන සෙනඟ කොල්ල කන්නෝ ය.
ඔව්හු ඒදොම් සහ මෝවබ් ජාතීන් ජයගන්නෝ ය.
අම්මොන් වැසියොත් ඔවුන්ට කීකරු වන්නෝ ය.
15 සමිඳාණෝ නයිල් ගඟේ වරාය සහමුලින් ම වියළී යන්න සලස්වන සේක.
එතුමාණෝ යුප්‍රටීස් ගඟ හරහා සිය අත ඔසවා, වියළි සුළඟක් එවා, එය කුඩා දිය පාරවල් හතකට බෙදන සේක.
එවිට සෙනඟ ගොඩබිම යන්නාක් මෙන් එයින් එගොඩ වන්නෝ ය.
16 ඉශ්රායෙල් සෙනඟට මිසරයෙන් පිට වන්න මඟ සැලසුණාක් මෙන් අසිරියාවේ ඉතිරි පිරිසටත් ඒ රටෙන් පිට වන්න මහා මාවත් ඇති වන්නේ ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW