මිසරයේ විනාශය පිළිබඳ ලකුණ
1 අසිරියාවේ රජ වූ සර්ගොන්ගේ අණ පරිදි අසිරියන් හමුදාවේ අණ දෙන නිලධාරියා වන තර්තාන් අෂ්දොද් නම් පිලිස්තියේ නගරයට පහර දී එය අත්පත් කරගත්තේ ය. 2 එයට තුන් අවුරුද්දකට පෙර සමිඳාණන් වහන්සේ ආමොස්ගේ පුත්‍ර වූ යෙසායාට කතා කොට, ඔහු ඉඟ වටා ඇඳ සිටි ගෝණි රෙද්ද හා ලා ගෙන සිටි පාවහන් ඉවත දමන්න අණකළ සේක. ඔහු එසේ කොට වස්ත්‍ර ද පාවහන් ද නැති ව ඇවිද්දේ ය. 3 අෂ්දොද් නගරය අල්ලා ගනු ලැබූ කල සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: ”මාගේ මෙහෙකරු වන යෙසායා තුන් අවුරුද්දක් මුළුල්ලේ වස්ත්‍ර ද පාවහන් ද නැති ව තැන් තැන්වල ඇවිද්දේ ය. මේ වනාහී මිසරයටත්, එතියෝපියාවටත්, සිදු වන්න යන දේ පිළිබඳ පෙර නිමිත්තකි. 4 අසිරියාවේ රජ මේ දෙරටින් අල්ලාගත් සිරකරුවන් නග්නකර, වහල්කමට ගෙන යන්නේ ය. මිසරයට නින්දාවක් පමුණුවමින් බාල මහලු සියලු දෙනා පාවහන් නැති ව නග්න ව, ඉණ ඉහ නැති ව ගමන් ගන්නෝ ය. 5 එතියෝපියාව කෙරෙහි තමන්ගේ විශ්වාසය තැබූ මිසරය ගැන පාරට්ටු කළ අය වියවුල් වී ලජ්ජාවට පැමිණෙන්නෝ ය. 6 ඒ කාලය පැමිණි විට පිලිස්තියේ මුහුදුබඩ වැසියෝ කතා කොට, අසිරියාවේ රජුගෙන් අප ආරක්ෂා කරනු ඇතැ යි මහත් අපේක්ෂාවෙන් විශ්වාස කළ සෙනඟට සිදුවී තිබෙන දේ බලන්න. අපේ අපේක්ෂාවට මෙසේ සිදු වූයේ නම්, අප ගැළවෙන්නේ කෙසේ දැ යි කියනු ඇත.”