ලෝකය කෙරෙහි දේව විනිශ්චයය
1 සමිඳාණෝ පොළොව විනාශ කොට, එය මරුකතරක් කරන සේක.
පොළොව පෙරළාදමා, එහි වැසියන් විසුරුවා හරින සේක.
2 සෙනඟට මෙන් පූජකයාටත්, වැඩකාරයාට මෙන් ඔහුගේ ස්වාමියාටත්, වැඩකාරිට මෙන් ඇගේ ස්වාමි දූටත් මිලයට ගන්නාට මෙන් විකුණන්නාටත්, ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත්, පොළියට දෙන්නාට මෙන් පොළියට ගන්නාටත් එසේ සිදු වන්නේ ය.
3 පොළොව සුණු විසුණු වී සහමුලින් ම පාළු වන්නේ ය.
මෙසේ වදාළේ සමිඳාණෝ ය.
4 මුළු පොළොව මැලවී, වියළී යන්නේ ය;
මුළු ලෝකය අබල දුබල වන්නේ ය;
අහසත්, පොළොවත් ජරාවාසයක් වන්නේ ය.
5 සෙනඟ විසින් දෙවිඳුන්ගේ නීති නියෝග හා අණපණත් ද ගිවිසුම ද කඩ කරන ලද බැවින් පොළොව දූෂණය වී ඇත.
6 එබැවින් දෙවිඳුන් පොළොව විනාශ කිරීමට සාපයක් එවා ඇත.
ඔව්හු තමන් කළ දේට දැන් වන්දි ගෙවති.
ජීවත් වී සිටින සෙනඟගේ ගණන එන්න එන්න අඩුවේගෙන යයි.
ඉතිරි වන්නේ ටික දෙනෙකි.
7 මිදිවැල වියළී යයි;
මිදියුස එන්න එන්න හීන වේ;
කලින් ප්‍රීතියෙන් සිටි අය දැන් දුකින් කල් යවති.
8 ඔවුන්ගේ ද වීණා හා බට නළාවල ද ප්‍රීති නාදය දැන් නැවතී ඇත.
9 ගී ගයමින් මිදිරස බීමක් තවත් නැත.
මද්‍යපානය බොන්නන්ට එය දැන් තිත්ත වී ඇත.
10 නගරයේ සියලු දේ අවුල් ජාලාවකි.
කිසිවකු ඇතුළු නොවන පිණිස සියලු ගෙවල් වසාදමා තිබේ.
11 මිනිස්සු වීථිවල මුද්‍රික පානය ඉල්ලා කෑගසති.
ප්‍රීතිය සදහට ම අතුරුදහන් වී ඇත.
දේශයෙන් සන්තෝෂය පහ වී ගොස් ඇත.
12 නගරයේ ඉතිරි ව ඇත්තේ නටබුන් පමණකි.
එහි දොරටු කඩා වැටී ඇත.
13 මුළු ලොවේ සෑම ජාතීන් අතර මෙසේ සිදු වන්නේ ය.
එය හරියට ඔලීව ගස්වල ද මිදි වැල්වල ද පල කඩා නිමකළ පසු අවසාන වූ කාලය වැනි ය.
14 ඉතිරි වන අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය.
බටහිර සිටින අය සමිඳුන්ගේ මහිමතාව ප්‍රකාශ කරති.
15 මුහුදු දිවයින්වල වෙසෙන සෙනඟ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන්ට ප්‍රශංසා කරති.
16 පොළොවේ සීමාන්තවලින් ධර්මිෂ්ඨ දේශය වන ඉශ්රායෙල් සම්බන්ධයෙන් නඟන ප්‍රශංසා ගී අපට ඇසෙන්නේ ය.
එහෙත්, මම කතා කොට, ”මට බලාපොරොත්තුවක් නැත;
මම ක්ෂය වෙමි;
ද්‍රෝහියෝ මා පාවා දෙති.
ඔවුන්ගේ ද්‍රෝහිකම දෙගුණ තෙගුණ වේ ය”යි කියමි.
17 මිහි පිට ජනයෙනි, භයානක දේ ද බොරුවළවල් ද මලපත් ද නුඹලා අසුකරගන්න බලා සිටියි.
18 භයානක දෙයින් බේරෙන්න සොයන තැනැත්තා බොරු වළක වැටෙන්නේ ය.
බොරු වළෙන් ගොඩවන්නා මලපතට අසුවන්නේ ය.
මන්ද අහසේ කවුළු විවෘත ව ඇත.
පොළොවේ අත්තිවාරම කම්පා වන්නේ ය.
19 පොළොව දෙදරා, සිඳී, බිඳී යන්නේ ය;
පොළොව පැළී යන්නේ ය;
පොළොව කම්පා වෙමින් චලනය වන්නේ ය;
20 පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින්,
කුණාටුවකට අසු වූ පැල්පතක් මෙන් සැලෙමින් පවතින්නේ ය.
පොළොව පාපයෙන් බර වී ඇත.
එය කිසි කලක ගොඩගන්නට බැරි වන ලෙස බිඳී වැටෙන්නේ ය.
21 උඩ සිටින, ඉහළ අහසේ බල මණ්ඩලවලටත්,
පොළොවේ සිටින පාලකයන්ටත්, සමිඳුන් දඬුවම් කරන කාලයක් පැමිණෙන්නේ ය.
22 හිරකාරයන් වළක හිරකොට තබන්නාක් මෙන් දෙවිඳාණෝ රජවරුන් සිරගත ව තබන සේක.
දීර්ඝ කාලයකට පසු ඔවුන්ට දඬුවම් කරන්න එන සේක.
23 එවිට, හඳ අඳුරු වන්නේ ය;
ඉර නොබැබළෙන්නේ ය.
මන්ද, සව් බලැති සමිඳුන් රජ වන බැවිනි.
එතුමාණෝ ජෙරුසලමේ සියොන් කන්ද මුදුනේ, රජකම් කරන සේක.
එතුමන්ගේ තේජාලංකාරය ප්‍රජා මූලිකයන් අබිමුව ප්‍රකාශ වන්නේ ය.