ලූර්දු දර්ශන වලින් ඔබ්බට

බර්නදෙත් විසින් ප්‍රකාශ කරන ලද කරුණු විශ්වාස කල අය මෙන්ම ඒවා ඇයගේ නන් දොඩවිලි ලෙස සැලකුවෝද වූහ. එහෙත් 1862 ජනවාරි 18 දා ටාබස් හි රදගුරු මොන්සිඤ්ඤොර් ලෝරන්ස් හිමිපාණෝ දීර්ඝ පරීක්ෂණ ගණනාවකට පසුව ලූර්දු සිදුවීම් සත්‍ය බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ. එයින් අනතුරුව ලූර්දු ගුහාව කරා ඇදෙන සැදැහැවතුන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වූ අතර, බර්නදෙත් හමුවන්නට උත්සහ කරන අය, ඇයට සවන් දී වැඩි තොරතුරු දැන ගැනීමට යත්න දරන අයද බොහෝ වූහ.

බර්නදෙත් නිතර රෝගාබාධවලට ගොදුරු වූ සාමාන්‍ය දැරියක වූවාය. 1862 මාර්තු අවසානය වන විට ඇය නිව්මෝනියා රෝගයට ගොදුරුව සිටියාය. අප්‍රේල් 20 පාස්කු දා වන විට ඇය තරමක සුවය ලැබද ගුහාව වෙත ද ගියාය. එහෙත් යළි රෝගී තත්වය උත්සන්නව නිව්මෝනියාව පෙනහළු දෙකට බලපා ඇතැයි වෛද්‍යවරු තීරණය කළහ. ඒ අනුව අප්‍රේල් 28 දා ඇයට රෝගීන්ගේ ප්‍රසාද නිධානය – අන්තිමාලේපය දානය කරන ලදී. එහිදී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත් සැනින් ඇයගේ ස්වසන තත්වය යහපත් අතට හැරිණි. “මට සුවයි හරියට මගේ පපුව උඩ තිබුන කන්දක් අහකට අරන් දැම්මා වගේ” බර්නදෙත් සතුටින් ප්‍රකාශ කළාය.

1863 සැප්තැම්බර් 20 දා නේවර්ස් හි රදගුරු මොන්සිඤ්ඤොර් පෝකේඩ් හිමිපාණෝ බර්නදෙත් හමුවූහ. එතුමා බර්නදෙත්ගෙන් විමසුවේ ඇයගේ අනාගත සැලසුම් පිළිබදවය. “ඔබ කන්‍යා සොයුරියක් නොවන්නේ ඇයි?” රදගුරු තුමා විමසීය. “නේවර්ස් හි පැවිදි සොයුරියක් වීම ගැන හිතන්න” රදගුරු තුමා ඇයට යෝජනා කළේය.

“මම දුප්පත්, නිතරම රෝගී වෙනවා ඒ වගේම මම නූගත්”.

රදගුරුතුමා දිනකිපයකට පෙර නේවර්ස් හි ප්‍රධාන මව්තුමිය වු ලොයිස් මව්තුමියට තම යෝජනාව ඉදිරිපත් කළේය. එතුමිය පැකිලීමකින් තොරව ම රදගුරුතුමා සමග එකඟ විය.

එසේ වුවද 1864 මාර්තු අවසන් වන විට බර්නදෙත් යලි රෝගාතුරු වුවාය. ඇය ඉක්මනින් මියයනු ඇතැයි බොහෝ දෙනා සැක පල කළහ. 1864 අප්‍රියෙල් 4 වන දා ලූර්දු දර්ශනය පිළිබඳව අනුස්මරණ දේශන මෙහෙය වනදා ඇයට සිය රෝගී තත්වය නිසා එයට සහභාගී වීමට හැකි වුයේ නැත. මේ අතර තරමක සුවය ලද පසුව ඇය පැවිදිවරයට එක්වීමට කැමැත්ත පළකිරීමට තීරණයකට එළබුනාය. ඒ 1858 අප්‍රියෙල් මාසයේ 8 වන දා සිය තීරණය මුලින්ම ලූර්දු නගරාධිපතිවරයාට දැන්වූ ඇය ප්‍රකශ කලේ තම කැමැත්තට මවගේ හා පියාගේ ආශීර්වාදය අවශ්‍යය බවය. කාමලයිට් තාපසිකාවක් වීමේ අදහස අත්හල ඇය 1861 දී දේව දයාවේ සොයුරියක් වීමට සිතා ගත්තාය. ඇය පැවිදිවරයට එක්වීමට අවසාන තීරණයට එළබුනේ 1866 අප්‍රියෙල් මාසයේ දිනකදීය. ඊට පෙර 1864 අප්‍රියෙල් 4 දා නෙවර්ස් වෙත ගොස් පැවැදි වීමට ඇය කැමති වුවද රෝගීබව ඊට හරස් විය.

ලූර්දු බැසිලිකාවේ ගුහාව නිලවශයෙන් විවෘත කිරීම 1866 මැයි 21 දාට යොදා ගැනීමට මොන්සිඤ්ඤොර් ලෝරන්ස් හිමිපාණෝ කටයුතු යොදා තිබුණි. එතුමා මෙම අවස්ථාවට බර්නදෙත් කැඳවීමට කටයුතු කර තිබුණි. උත්සවයට පැමිණි ජනතාව බර්නදෙත් ස්පර්ශ කිරීමටද ඇයගේ වේලයෙන් කොටසක් කඩා ගැනීමටද තැත් කල බවද වාර්තා වී තිබේ.

1866 ජූලි 3 අගහරුවාදා තමන්ට දේව අම්මා මුණ ගැසුණු ලූර්දු ගුහාවා පිය මැන්නාය. එය නේවර්ස් හි කන්‍යාරාමයට ඇතුළු වීම සදහා දේව අම්මාගේ ආශිර්වාදය ලබා ගන්නටය. ඇය එහි දිගු වේලාවක් යාච්ඤාවේ යෙදුනාය. අනතුරුව නිවසට පැමිණ පවුලේ සාමාජිකයින් සමඟ ආහාර ගනිමින් සතුටින් කාලය ගත කාලය. ඒ ඇය සිය නිවසේ ගත කල අවසාන රාත්‍රිය විය. පසුදින ලූර්දුවේ සිට නේවර්ස් දක්වා දීර්ඝ ගමනක යෙදීමට ඔවුහු සැලසුම් කොට තිබුණි. ඒ කිලෝ මීටර 705ක් පමණ දුරකි. හතරවනදා උදෙන්ම බර්නදෙත් සිය වැඩිමහල්ලන් ද සමඟ දුම්රියට නැගුනේ නේවර්ස් බලා යාම සදහාය. දුම්රිය ලූර්දු ගුහාව ප්‍රදේශය පසු කරද්දී ඇය අවසන් වරට ඒ දෙසට ආචාර කළාය. ටොයිනට් සහ ඇයගේ ආත්මික මෑණියන් වූ පියරේ ද දුම්රිය පොළට පැමිණ සිටියහ.