නායක පූජකයෙකු පත් කිරීම
1 වර්ෂ එක සිය හැටේ දී ඇන්ටිඕකස්ගේ පුත්‍ර වූ එපිපානෙස් යන පටබැඳි නමක් ඇති ඇලෙක්සන්දර් තෙමේ ටොලමයිස් නම් ස්ථානයට ගොඩබැස එය අල්ලාගත්තේ ය. ඔහු හොඳින් පිළිගනු ලැබී ය. ඔහු ද තමා එහි රජ බව ප්‍රකාශ කෙළේ ය. 2 දෙමෙත්‍රියස් රජ තෙම මෙය අසා ඉතා විශාල සේනාවක් එකතු කොට ඔහුට විරුද්ධ ව සටනට නික්ම ගියේ ය. 3 තවද, දෙමෙත්‍රියස් තෙමේ ජොනතන්ට ගෞරව කර ඔහු උසස් කරනු සඳහා ඔහු වෙත සිත්ගන්නා සුලු ලිපියක් යැවී ය. 4 මන්ද, ඔහු කතා කොට, ”ඔහු අපට විරුද්ධ ව ඇලෙක්සන්දර් සමඟ පොදු ගිවිසුමකට පැමිණෙන්නට පෙර මේ සෙනඟ මුලින් ම අප සාමදානයට පැමිණීම යෙහෙකි. 5 අප විසින් ඔහුටත් ඔහුගේ සහෝදරයන්ටත් ඔහුගේ ජාතියටත් කරන ලද පීඩා අමතක කිරීම ඔහුට කළ නොහැකි දෙයකි”යි කියා තිබුණි. 6 එබැවින් හමුදාවක් එකතු කිරීමටත් යුද්ධායුධ තැනීමටත් තමාගේ මිත්‍රයෙකු බව කියා ගැනීමටත් ඔහු ජොනතන්ට බලය දී බලකොටු නගරයේ සිරකොට රඳවා සිටියවුන් ඔහුට පාවා දීමටත් අණ කෙළේ ය.
7 ජොනතන් ද කෙළින් ම ජෙරුසලමට ගොස් මුළු ජනතාව සහ බලකොටු නගරයේ සිටි සෙනඟ ඉදිරියෙහි ඒ ලිපිය කියවී ය. 8 හමුදාවක් එකතු කිරීමට රජු ඔහුට බලය දී තිබෙන බව සෙනඟ ඇසූ විට සියල්ලෝ ම තුෂ්ණිම්භූත වූ හ. 9 බලකොටු නගරයේ සිටි භටයන් ජොනතන්ට සිරකොට රඳවා සිටියවුන් පාවා දුන් විට ඔහු ඔවුන් ඔවුන්ගේ දෙමව්පියන්ට භාර දුන්නේ ය. 10 ඉන්පසු ජොනතන් ජෙරුසලමේ පදිංචි වී නගරය යළි ගොඩනැංවීමටත් ප්‍රතිසංස්කරණය කරවීමටත් පටන්ගත්තේ ය. 11 කැපූ හතරැස් ගලින්, සියොන් කන්ද වටේට ආරක්ෂා සංවිධාන සහ ප්‍රාකාර ගොඩනැඟීම පිළිබඳ වගකීම දරන අයට ඒවා වඩාත් ශක්තිමත් කරන ලෙස ඔහු අණ කෙළේ ය. එය එලෙස ම කරන ලදී. 12 බක්කිදෙස් විසින් ගොඩනඟන ලද බලකොටුවල සිටි විදේශීහු ඒවා අත්හැර 13 එකිනෙකා තම තමාගේ නිල ස්ථානයෙන් පිටත් වී ස්වකීය දේශයන් බලා ගියෝ ය. 14 ව්‍යවස්ථාව සහ දේවාඥා පණත් අත්හළ අයගෙන් ටික දෙනෙක් පමණක් බෙත්-ශූර් නගරය සැඟවී සිටීමට සුදුසු ස්ථානයක් වූ බැවින් එහි නැවතී සිටියහ.
15 දෙමෙත්‍රියස් විසින් ජොනතන්ට යවන ලද පොරොන්දු සියල්ල ගැන ඇලෙක්සන්දර් රජුට සැළ විය. තවද, ජොනතන් කළ සටන් හා ඔහුගේ වීර ක්‍රියා ගැනත්, ඔහුට දරන්නට සිදු වූ දුක් ගැහැට ගැනත්, විස්තරයක් ද ඇලෙක්සන්දර් රජුට දෙන ලදී. 16 එවිට ඇලෙක්සන්දර් රජ තෙමේ කතා කොට, ”අපට කිසි ම දිනක මේ හා සමාන අන් මිනිසෙකු සම්බ වේ ද? ඔහු සමඟ මිතුරෙකු සහ සහායකයෙකු වීමට ඉක්මන් කරමු”යි හඬ නඟා කීවේ ය. 17 එබැවින් ඔහු ජොනතන්ට ලිපියක් යවමින් මෙසේ දැන්වී ය: 18 ”සැරදේ වා! ඇලෙක්සන්දර් රජුගෙන් තම සොහොයුරු, ජොනතන් වෙතට යි. 19 ඔබ වනාහි ක්‍රියාවේ යුහුසුළු ශක්තිසම්පන්න කෙනෙකු හැටියටත් අපේ මිත්‍රයෙකු වීමට සුදුසු කෙනෙකු හැටියටත් ඔබ ගැන අපට සැළ කර ඇත. 20 එබැවින් ඔබට ‘රාජ මිත්‍රයා’ යන පටබැඳි නාමය දෙමින්, ඔබේ ජාතියේ නායක පූජකවරයා හැටියට අපි ඔබ අද දින පත් කෙළෙමු. ඔබ අපේ ඕනෑඑපාකම් දැනගෙන අප සමඟ මිත්‍ර ලීලාවෙන් ක්‍රියා කළ යුතු ය” තවද, ඔහු දම් පාට සළුවක් ද රන් කිරීටයක් ද ජොනතන් වෙත යැවී ය.
21 වර්ෂ එකසිය හැටේ හත් වන මාසයේ කූඩාරම් මංගල්‍ය දිනයේ දී ජොනතන් තෙමේ පූජක වස්ත්‍ර පැළඳගත්තේ ය. ඉන්පසු ඔහු සේනාවක් සූදානම් කිරීමටත් අධික ලෙස යුද්ධායුධ සෑදවීමටත් යුහුසුළු විය.
පළමු වන දෙමෙත්‍රියස්ගෙන් ලිපියක්
22 සිදු වූ දේ දැනගත් විට දෙමෙත්‍රියස් අසතුටු විය. 23 ඔහු කතා කොට, ”අප කරගත් දේ කුමක් ද? තමාගේ පදවිය ශක්තිසම්පන්න කරගැනීම සඳහා ඇලෙක්සන්දර් අපට කලින් ජුදෙව්වන්ගේ මිත්‍රත්වය දිනාගත්තා නොවේ ද? 24 එබැවින් ඔවුන්ගේ ආධාරය ලබා ගැනීමේ උපක්‍රමයක් හැටියට, ඔවුන්ට වැඩිදියුණුව හා සම්පත් පොරොන්දු වී ඔවුන් අමතා ආයාචනයක් ලියා යවමි”යි කියා 25 පහත දැක්වෙන ලෙස ලියා යැවී ය: ”සැරදේ වා! දෙමෙත්‍රියස් රජුගෙන් ජුදා ජාතිය වෙතට යි. 26 ඔබ අප සමඟ කළ ගිවිසුම පවත්වා ඇති අන්දමත්, අපේ සතුරන්ගේ පැත්තට නොගොස් අප සමඟ මිත්‍ර සම්බන්ධකම් පවත්වා ගෙන යන අන්දමත් ගැන අසා අපි මහත් ප්‍රීතියට පත් වී සිටින්නෙමු. 27 ඔබ අප සමඟ විශ්වාසවන්ත ව සිටින්නහු නම් අප වෙනුවෙන් ඔබ කරන දේ සඳහා අපි ඔබට විපුල ලෙස ප්‍රති-උපකාර කරන්නෙමු. 28 අපි ඔබට බොහෝ අයබදුවලින් නිදහස ද අනේක වරප්‍රසාද ද දෙන්නෙමු. 29 මෙතැන් පටන් ඔබත් ජුදෙව්වරුන් සියලු දෙනාත් කප්පම් ගෙවීමෙන් ද ලුණු බද්ද ගෙවීමෙන් ද රාජකීය අයබදු ගෙවීමෙන් ද නිදහස් කොට හරින්නෙමි. 30 තවද, වගා කරන ලද දේවලින් තුනෙන් පංගුවකට සමාන කොටසක් සහ පලතුරුවලින් දෙකෙන් කොටසක් බද්දක් වශයෙන් ගැනීමට මට අයිතියක් ඇති නමුත්, අද දින පටන් මින් ඉදිරියට සදහට ම ජුදා දේශය ද, සමාරියට සහ ගලීලයට අයත් පළාත් තුන ද මම ඒ බද්දෙන් නිදහස් කරමි. 31 ජෙරුසලම ශුද්ධ භූමියක් වන අතර එය සහ ඒ අවට ප්‍රදේශය දසයෙන් කොටස ගෙවීමෙන් සහ බදුවලින් නිදහස් වනු ඇත. 32 ජෙරුසලමේ බලකොටුවේ පාලන බලයෙන් මා ඉවත් වී, එහි නායක පූජක තැනට තමා කැමැති පරිදි ආරක්ෂක බළ ඇණියක් යොදාගෙන එය ශක්තිමත් කරගන්න පිණිස, මම එහි පාලනය ඔහුට භාර දෙමි. 33 ජුදා දේශයෙන් සිරභාරයට ගත් මාගේ රාජ්‍යයේ ඕනෑ ම පෙදෙසක සිටින සෑම ජුදෙව්වෙකු ම නොමිලයේ නිදහස් කොට ඒ සියලු දෙනාගෙන් ද ඔවුන්ගේ සතුන් සිවුපාවුන් වෙනුවෙන් ද අය කරන බදු මිල ඔවුන් නොගෙවන ලෙස මම නියෝගයක් පනවමි. 34 සියලු ම මංගල්‍ය දවස් හා සබත් දවස් ද අමාවක දවස් හා විශේෂ අනුස්මරණ දවස් ද මංගල්‍යයකට පෙර හා පසු ව එන තුන් දවස ද මාගේ රාජ්‍යයේ වසන සියලු ම ජුදෙව්වරුන්ට බදු නිදහස් දවස් වනු ඇත. 35 කිසිවෙකුට කුමන කරුණක් නිසා වත් ඔවුන්ගෙන් කිසි ම ගෙවීමක් ලබා ගැනීමට හෝ ඔවුන්ගෙන් කිසිවෙකුට හිංසා කිරීමට හෝ අයිතියක් නැත. 36 ජුදෙව්වරුන්ගෙන් තිස් දහසක් රාජකීය හමුදාවට බැඳිය යුතු ය. රාජකීය හමුදාවේ සෙස්සන්ට මෙන් සමාන නඩත්තු මුදලක් ඔවුන්ටත් ගෙවනු ඇත. 37 මොවුන්ගෙන් සමහරෙකු ප්‍රධාන රාජකීය බලකොටුවේ නවතා තබනු ඇත. අනෙක් අය අතරෙන් සමහරෙකුට රාජ්‍යයේ විශ්වාස කටයුතු නිල පදවි දෙනු ඇත. ඔවුන්ගේ නිලධාරීන් සහ සෙන්පතීන් ඔවුන්ගේ සංබ්‍යාව අතරෙන් ම පත්වීම් ලබනු ඇත. රජතුමා ජුදා දේශයට පණවා ඇති ලෙස මොවුන් තමන්ගේ ම ව්‍යවස්ථා අනුව ජීවත් විය යුතු ය. 38 සමාරිය පළාතෙන් ජුදා දේශයට යා කරන ලද ප්‍රදේශ තුන ජුදා දේශයට ම ඒකාබද්ධ කරනු ලැබේ. තවද එහි වැසියන් එක ම නායක පූජකයෙකුගේ අණසකට පමණක් කීකරු වෙමින් එක ම ආණ්ඩුකාරයෙකුගේ පාලනයට පමණක් යටත් විය යුතු ය. 39 ප්‍රසිද්ධ වන්දනාවට වන වියහියදම් පියවීම සඳහා ටොලමයිස් සහ තදාසන්න ප්‍රදේශ දීමනාවක් මෙන් මා ප්‍රදානය කර තිබේ. 40 තවද, මම රිදී කාසි පසළොස් දහසක පෞද්ගලික ආධාර මුදලක් අවුරුදුපතා දෙමි. ඒ මුදල නියමිත ස්ථානවලින් රාජකීය ආදායම් බදු කාර්යාලය අවුරුදුපතා අය කළ යුතු ය. 41 තවද, කලින් ගෙව්වාක් මෙන්, නිලධාරීන් විසින් නොගෙවන ලද, වැඩිපුර ඉතිරි කොටස මින් ඉදිරියට දේව මාලිගාවේ වැඩ සඳහා ගෙවනු ලැබේ. 42 ඊට අමතර ව, ශුද්ධස්ථානයේ ලාභ මුදලින් අවුරුදුපතා වාර්ෂික ගිණුම් වාර්තාවල සඳහන් පරිදි අය කරන ලද රිදී කාසි පන්දහස ජන වන්දනාව පවත්වන පූජකවරුන්ගේ අවශ්‍යතාවන් සඳහා වෙන් කරනු ලැබේ. 43 රාජකීය භාණ්ඩාගාරයට දිය යුතු ණය මුදල නිසා හෝ වෙනත් කරුණක් නිසා හෝ යමෙක් ජෙරුසලමේ දේව මාලිගාවේ හෝ ඊට යාබද ස්ථානයක හෝ රැකවරණය ගතහොත්, මාගේ රාජ්‍යය තුළ ඔහුට අයිති මුළු වස්තුවේ සම්පූර්ණ අයිතිය සහිත ව ඔහු නිදහස් කරනු ලැබේ. 44 ශුද්ධස්ථානය ගොඩනැඟීම සහ එහි ප්‍රතිසංස්කරණය සඳහා වැය වන මුදල රාජකීය භාණ්ඩාගාරයෙන් ගෙවනු ලැබේ. 45 තවද, ජෙරුසලමේ ප්‍රාකාර යළි ගොඩනැඟීමත් නගර මායිම් ශක්තිමත් කිරීමත් ජුදයා දේශයේ අනෙක් නගරවල පවුරු යළි ගොඩනැඟීමත් සඳහා වැය වන මුදල් ද රාජකීය භාණ්ඩාගාරයෙන් වැය කරනු ලැබේ.
දෙමෙත්‍රියස්ගේ යෝජනා ප්‍රතික්ෂේප කිරීම
46 ජොනතන් සහ සෙනඟ මේ යෝජනා ඇසූ විට, දෙමෙත්‍රියස් රජ ඉශ්රායෙල් දේශයේ කළ මහා දුෂ්ටකම් ද ඔහු කෲර ලෙස ඔවුන් තැළූ, පෙළූ, අන්දම ද සිහි කර, ඒ යෝජනා කෙරෙහි විශ්වාසය නොතබා, ඒවා පිළිගැනීම ප්‍රතික්ෂේප කළහ. 47 ඔව්හු ඇලෙක්සන්දර් රජු තමන්ගේ විශිෂ්ට හිතවතා මෙන් සලකා, ඔහුගේ පැත්ත ගැනීමට තීරණය කළහ. මෙසේ ඔව්හු ඔහුගේ හිතමිතුරෝ වූ හ. 48 ඇලෙක්සන්දර් රජ ද විශාල සේනාවක් රැස් කොට දෙමෙත්‍රියස්ට විරුද්ධ ව සටනට සැරසිණි. 49 ඉන්පසු රජවරු දෙදෙන යුද ඇරඹුවහ. සටනේ දී ඇලෙක්සන්දර්ගේ හමුදාව පලවා හරින ලදී. දෙමෙත්‍රියස් ද ඔහු ලුහුබැඳ ගොස් ඔහුගේ යුද්ධ භටයන් පරාජය කෙළේ ය. 50 ඔහු ද ඉර බැස යනතෙක් ශක්තිසම්පන්න ව යුද්ධයෙහි නිරත විය. එහෙත් එදින දෙමෙත්‍රියස් මැරුම් කෑවේ ය.
ඇලෙක්සන්දර්ගේ විවාහය
51 ඉන්පසු ඇලෙක්සන්දර් රජ මිසරයේ රජ වූ ටොලමි වෙත තානාපතියන් යවමින් මෙසේ දැන්වී ය. 52 ”මෙකල මම මාගේ රාජ්‍යයට හැරී අවුත්, මාගේ පියවරුන්ගේ සිංහාසනයට ආරූඪ වී, දෙමෙත්‍රියස් පරාජය කොට රටේ පාලන බලය අල්ලාගෙන මාගේ ආධිපත්‍යය පිහිටුවා ඇත. 53 දෙමෙත්‍රියස්ට විරුද්ධ ව සටන් කොට ඔහු ද ඔහුගේ සේනාව ද වනසා, දැන් අපි ඔහුගේ රාජ්‍යය අයිති කරගෙන සිටිමු. 54 එබැවින් දැන් අපි අන්‍යොන්‍ය මිත්‍රත්වයේ ගිවිසුමක් කර ගනිමු. ඔබේ දියණියන් මට සරණ පාවා දෙන්න. මම ද එවිට ඔබේ බෑණා වී ඔබටත් ඇයටත් ඔබේ තත්ත්වයට සුදුසු අන්දමින් තෑගිබෝග දෙන්නෙමි.”
55 ටොලමි රජ තෙම ද පහත දැක්වෙන පරිදි උත්තර යැවී ය: ”ඔබගේ පියවරුන්ගේ දේශයට ආපසු අවුත් ඔවුන්ගේ රාජකීය සිංහාසනයට ආරූඪ වූ දවස වාසනාවන්ත දිනයක් වන්නට ඇත! 56 ඔබගේ ලිපියෙන් යෝජනා කරන දේ මම දැන් ම ඔබ උදෙසා කරමි. අප එකිනෙකා දැකගන්න පිණිස ටොලමයිස් හි දී මා හමුවන්න. ඔබ අසා ඇති පරිදි මම ඔබගේ මාමණ්ඩි වන්නෙමි.”
57 ටොලමි රජ ද සිය දියණියන් වූ ක්ලෙයෝපත්රා සමඟ වර්ෂ එකසිය හැට දෙකේ දී මිසරයෙන් ටොලමයිස් නුවරට ළඟා විය. 58 ඇලෙක්සන්දර් රජ ද ඔහු හමු වීමට ගියෙන්, ටොලමි තම දියණියන් ඔහුට සරණ පාවා දී රාජකීය සිරිත් ලෙස මහත් හරසරින් ටොලමයිස්හි දී විවාහ මංගල්‍යෝත්සවය සිදු කෙළේ ය. 59 ඇලෙක්සන්දර් රජ තෙම තමා හමු වන ලෙස ජොනතන්ට ලියා යැව්වේ ය. 60 ජොනතන් ද අත්‍යාලංකාරයෙන් ටොලමයිස් නගරයට ගොස් රජවරුන් දෙදෙනා හමු විය. ඔහු ඔවුන්ටත් ඔවුන්ගේ මිත්‍රයන්ටත් රන් රිදී හා බොහෝ තෑගිබෝග ද දුන් විට ඔව්හු ඔහු ගැන ඉතා තදින් පැහැදුණාහ. 61 ඉශ්රායෙල් දේශයෙන් කපටි වූ ද නීතියට පටහැණි ව ක්‍රියා කළා වූ ද මිනිසුන් ගණනාවක් එකතු වී ඔහුට විරුද්ධ ව චෝදනා කළ නමුත් රජ තෙම ඔවුන්ට සවන් නුදුන්නේ ය. 62 තවද, ජොනතන් ඔහු පැළඳ සිටි වස්ත්‍ර ඉවත් කොට රාජකීය වස්ත්‍ර පැළඳිය යුතු ය යි රජතුමා අණ කළ විට මෙලෙස කරන ලදී. 63 එවිට රජ තෙම ඔහු සමීපයෙන් වාඩි වී සිය නිලධාරීන්ට කතා කොට, ”නුවර මධ්‍යස්ථානයට ඔහු පිරිවරා ගොස්, කවර කරුණක් නිසා වත් ඔහුට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනාවක් නොකළ යුතු යයි ද කවර කරුණක් නිසා වත් ඔහුට හිරිහැර නොකළ යුතු ය”යි ද අණ කෙළේ ය. 64 මෙම ප්‍රකාශනය මඟින් ජොනතන්ට දෙන ලද ගෞරවය ද ඔහු රාජකීය වස්ත්‍රවලින් සැරසී සිටීම ද ඔහුට විරුද්ධ ව චෝදනා කළ අය දුටු විට ඔව්හු පලා ගියහ. 65 රජ තෙම ජොනතන්ට ”අග්‍රගණ්‍ය මිත්‍රයා” යන නම්බු නාමය ප්‍රදානය කොට, ආණ්ඩුකාරයා සහ යුද්ධ කොමසාරිස්වරයා හැටියට ඔහු පත් කෙළේ ය. 66 ඉන්පසු ජොනතන් ජෙරුසලමට ප්‍රීතියෙන් සුව සේ ආපසු පැමිණියේ ය.
ජොනතන් සහ අපොල්ලෝනියස් අතර ගැටුම
67 වර්ෂ එකසිය හැට පහේ දී පළමු වන දෙමෙත්‍රියස්ගේ පුත් දෙ වන දෙමෙත්‍රියස් ක්‍රීට් දූපතෙන් ඔහුගේ පියවරුන්ගේ දේශයට පැමිණියේ ය. 68 ඇලෙක්සන්දර් රජ තෙම මෙය ඇසූ විට ඔහු දොම්නසෙහි ගිලී අන්තියෝකිය නගරයට ගොස් විශ්‍රාම ගත්තේ ය. 69 මෙකී දෙමෙත්‍රියස් ද අපොල්ලෝනියස් නමැත්තා චෙලිසිරියා පළාතේ ආණ්ඩුකාරයා වශයෙන් පත් කෙළේ ය. මොහු ද විශාල සේනාවක් රැස් කොට, ජම්නියා නම් ස්ථානයේ වූ තම කඳවුරේ සිට, පහත දැක්වෙන පණිවුඩය නායක පූජක ජොනතන් වෙත ලියා යැව්වේ ය:
70 ”අපට විරුද්ධ ව ඔබ පමණක් නැඟිටින්නෙහි ය. ඒ නිසා මම නින්දාවටත් සමච්චලයටත් පාත්‍ර වී සිටිමි. කඳුකරයේ අපට අවාසි වන අන්දමට ඔබ තම ආණ්ඩු බලය යොදවන්නේ මන් ද? 71 ඔබ ඔබේ හමුදාවන් කෙරෙහි මෙපමණ විශ්වාසයක් තබන්නෙහි නම් අප හමු වීමට මිටියාවතට බැස එන්න. එහි දී අපි ගතයුතු පියවරක් ගන්නෙමු. මට වාසි වන ලෙස නගරවල ශක්තිය මට ඇත. 72 මා කවරෙක් ද කියාත්, මට ආධාර වන්නෝ කවරහු ද කියාත්, අසා දැනගන්න. දෙවරක් ම ඔබේ පියවරුන් ඔවුන්ගේ ම දේශවල දී පලවා හරිනු ලැබූ බැවින්, අපට විරුද්ධ ව නැඟිටීමට ඔබට නොහැකි බව දැනගන්නට ලැබෙනු ඇත. 73 මිටියාවතෙහි ඔබට සැඟවීමට ගල් පර්වත වත් ගල් බොරළු වත් වෙනත් යමක් වත් නැති බැවින් අශ්ව හමුදාවට හෝ විශාල හමුදාවට හෝ විරුද්ධ ව එහි දී සටන් කිරීමට ඔබට නොහැකි වනු ඇත.”
74 අපොල්ලෝනියස්ගේ මේ පණිවුඩය ඇසූ විට ජොනතන්ගේ සිත ධෛර්යවත් විය. ඔහු දස දහසක හමුදාවක් තෝරාගෙන ජෙරුසලමෙන් පිටත් විය. ඔහුගේ සහෝදර සීමොන් ද යුද්ධාධාර රැගෙන ඔහුට එකතු විය. 75 ඔහු ජොප්පා නුවර ඉදිරියෙහි සේනාව පෙළගස්වා නතර කෙළේ ය. ජොප්පාවෙහි අපොල්ලෝනියස්ට ආරක්ෂක සේනාවක් සිටි බැවින් එහි පුරවැසියෝ ජොනතන්ට ඇතුළු වීමට ඉඩ නුදුන්හ. එහෙත්, ජොනතන් ඊට පහර දීමට පටන්ගත් විට 76 පුරවැසියන් බිය වී වාසල් දොරටු විවෘත කළ බැවින් ඔහු ජොප්පාව අල්ලාගත්තේ ය. 77 මෙය ඇසූ විට අපොල්ලෝනියස් තුන් දහසක අශ්ව සේනාවක් සහ විශාල හමුදාවක් සංවිධානය කරගෙන, ඔහු ඇත්ත වශයෙන් මිටියාවතට යමින් සිටි නමුත්, අසෝතස් නුවර ඔස්සේ යන්න වුවමනා බවක් බොරුවට අඟවමින් මේ නුවර බලා ඉදිරියට ගමන් කෙළේ ය. මන්ද, ඔහු විශ්වාසය තැබූ විශාල අශ්ව හමුදාවක් ඔහුට විය. 78 ජොනතන් ද අසෝතස් දක්වා ඔහු ලුහුබැඳ ගියේ ය. එහි දී හමුදාවෝ සටන පටන්ගත්හ. 79 අපොල්ලෝනියස් ද ඔවුන් පිටිපස දහසක් අසරුවන් සඟවා තිබිණි. 80 සැඟවී සිට තමන්ට පහර දීම සඳහා යොදාගන්නා ලද මේ උපාය ජොනතන් දැනගත්තේ ය. අපොල්ලෝනියස්ගේ අසරුවෝ ජොනතන්ගේ සේනාව වටකරගෙන උදේ සිට සවස දක්වා ඔවුන්ට ඊගස් විද්දෝ ය. 81 එහෙත් ජොනතන් අණ දුන් පරිදි ඔහුගේ සෙනඟ ස්ථීර ව සිටියහ. අන්තිමයේ දී සතුරාගේ අශ්වයෝ වෙහෙසට පත් වූහ. 82 එවිට සීමොන්ට තම සේනාව සමඟ කඩා පනින්නට හැකි විය. ඔව්හු ද එක් ව සටනෙහි නිරත ව සිටි සතුරු හමුදාවට සමීප වී ඔවුන් කෑලි කෑලිවලට කපා පලවා හැරියෝ ය. 83 අශ්ව හමුදාව ද මිටියාවතෙහි සැම තැන ම විසිරී ගොස් අසෝතස් දක්වා පලා ගියහ. ඔව්හු මෙසේ පලා ගොස් රැකවරණය සඳහා බෙත්-දාගොන් නම් වූ තමන්ගේ දෙවියන්ගේ දේවාලයට ඇතුළු වූ හ. 84 එහෙත් ජොනතන් අසෝතස් නගරයට ද තදාසන්න වෙනත් නගරවලට ද ගිනි ලා ඒවා කොල්ලකා, දාගොන් දේවාලයට පලා ගොස් එහි රාශිභූත වී සිටි සියල්ලන් හා සමඟ එම දේවාලයත් පුළුස්සාදැමී ය. 85 සතුරන් අතරෙන් කඩුවෙන් මැරුම්කෑ අය සහ ගිනිබත් වූ අයගේ මුළු සංබ්‍යාව අට දහසක් පමණ විය. 86 ඉන්පසු ජොනතන් එම ස්ථානයෙන් නික්ම ගොස් අස්කලොන් නුවර ඉදිරිපිට කඳවුරු බැන්දේ ය. එවිට එහි පුරවැසියෝ මහත් හරසරින් ජොනතන් හමුවීමට පැමිණියහ. 87 ඉන්පසු ඔහු ස්වකීය අනුගාමිකයන් සමඟ, තමන් කොල්ලකා ගත් දේ ද පටවාගෙන, ජෙරුසලමට ආපසු ගියේ ය. 88 ඇලෙක්සන්දර් රජ තෙමේ සිදු වූ මේ සියල්ල ඇසූ විට ජොනතන්ට අලුත් ගරුසම්මාන පිරිනැමී ය. 89 තවද, රජ තෙම සිරිත් පරිදි රජුගේ ඥාතීන්ට පමණක් පිරිනමනු ලබන උරහිස පළඳනාවක් ඔහුට තෑගි වශයෙන් යවා, එක්රොන් සහ තදාසන්න රටවල භුක්තිය සින්නක්කර ව ඔහුට පැවරී ය.