1 මකබි – 6 වන පරිච්ඡේදය –

ඇන්ටිඕකස් එපිපානෙස්ගේ අන්තිම කාලය

1 මේ අතරතුරේ දී ඇන්ටිඕකස් රජ උතුරු පළාත් ඔස්සේ යමින් සිටියේ ය. තවද, පර්සියාවේ එලිමයිස් නම් නගරයක් ගැන ඔහුට අසන්නට ලැබිණ. මේ නගරය එහි වූ ධන සම්පත් හා රන් රිදී නිසා ද 2 ග්‍රීක් ජාතිකයන් පළමුවෙන් ම පාලනය කළ ග්‍රීසියේ රජු වන පිලිප්ගේ පුත් ඇලෙක්සන්දර්, රන් යුද ඇඳුම්, ළය වැසුම් සහ වෙනත් අවි ආයුධ තැන්පත් කළ ඉතා ඉසුරුමත් දේවාලය නිසා ද මහත් කීර්තියක් ඉසිලී ය. 3 එබැවින් ඔහු ගොස් ඒ නගරය අල්ලාගෙන එය කොල්ලකන්නට උත්සාහ කළ නමුත් එය සාර්ථක නො වී ය. මන්ද, එහි පුරවැසියන් ඔහුගේ සිතුම් පැතුම් දැනගෙන 4 ඔහුට විරුද්ධ ව තදින් ම සටන් කළ බැවිනි. එවිට ඔහු ආපසු හැරී කනගාටුවෙන් බබිලෝනියාව බලා ගියේ ය. 5 එහෙත් ඔහු පර්සියාවේ සිටිය දී ම, ජුදා දේශය ආක්‍රමණය කළ හමුදාවක් පරාජය වූ බව ඔහුට සැළ විය. 6 විශේෂයෙන්, ලිසියස් ඉමහත් සේනාවක් සමඟ ඉදිරියට ගිය නමුත් ඔහුට ජුදෙව්වන් ඉදිරියෙන් බලෙන් ම ආපසු හැරී පලා යන්නට සිදු වූ බව ද ජුදෙව් හමුදාවන් විසින් කැබලි කරනු ලැබූ සේනාවලින් ලබාගත් යුද්ධායුධවලින් ද ආහාර පානාදියෙන් ද අධික කොල්ලයෙන් ද ඔවුන් වඩාත් බලසම්පන්න වී සිටින බව ද 7 ජෙරුසලමේ පූජාසනයට උඩින් තමා ඉදිකරවූ ”පිළිකුල් දූෂිතය” ජුදෙව්වන් විසින් විනාශ කරනු ලැබූ බව ද ඊට කලින් තිබුණු පරිදි ශුද්ධස්ථානය උස් ප්‍රාකාරවලින් වට කොට, ඔහුගේ නගරයක් වූ බෙත්-ශූර් ශක්තිමත් කර තිබෙන බව ද ඔහුට සැළ විය. 8 රජ තෙම මෙය ඇසූ විට මවිතයට පත් වී තදින් කම්පා විය. තමා බලාපොරොත්තු වූ අන්දමට කිසිවක් සිදු නොවූ නිසා, ඔහු යහන මත වැතිර දැඩි සිත් වේදනාවෙන් මලානික වී සිටියේ ය. 9 මෙලෙස ඔහු බොහෝ දින ගණනක් මලානික ගතියෙන් සිටින අතර නොයෙක් වර සිහිසන් නැති ව යන්නට ද වූයෙන් තමා මැරෙන්නට යන බව ඔහු තේරුම්ගත්තේ ය. 10 එවිට ඔහු තම මිත්‍රයන් සියලු දෙනා කැඳවා, ඔවුන්ට කතා කොට, ”මාගේ දෙනෙතට නින්ද නැත. මම ද සිත් තැවුලෙන් බියට පත් වී සිටිමි. 11 මට ධන සම්පත් තිබුණු අවදියේ මම ඉතා ත්‍යාගශීලී ව ප්‍රේමය ලබා සිටියෙමි. එහෙත් දැන් ගංවතුරක් වැනි මහා කරදරයක මා වෙළී පැටලී ගිලී සිටීමට හේතුව කුමක් ද? මගෙන් ම මම ප්‍රශ්න කරගනිමි. 12 මා ජෙරුසලමේ දී එහි සියලු රන් රිදී භාජන පැහැර ගැනීමෙන් ද කිසි ම හේතුවක් නැති ව ජුදා දේශයේ වැසියන් සමුල ඝාතනයෙන් වනසාලීමට අණ කිරීමෙන් ද මා එහි දී කළ වැරදි මට දැන් සිහි වේ. 13 මට මේ සා මහත් කාලකණ්ණිකමක් පැමිණ තිබෙන්නේත්, විදේශීය රටක දී මා මලානික ගතියෙන් මරණාසන්න වී සිටින්නේත් මක්නිසා ද? ඊට හේතුව මට දැන් පැහැදිලි වී ඇතැ”යි කීවේ ය.

පස් වන ඇන්ටිඕකස් රජ සිංහාසනාරූඪ වීම

14 ඉන්පසු ඔහු තම මිතුරෙකු වූ පිලිප් කැඳවා මුළු රාජ්‍යයේ ම වැඩ බැලීමට ඔහු පත් කෙළේ ය. 15 තවද පිලිප් රජුගේ පුත් ඇන්ටිඕකස්ට උගන්වා, සිංහාසනයට පත් කිරීම සඳහා ඔහුට පුහුණුව ලබා දිය යුතු ය යන සම්මතය පිට, රජ තෙමේ ඔහුට තමාගේ කිරීටය ද පළඳනාව ද මුද්‍රාව ද භාර දුන්නේ ය. 16 වර්ෂ එකසිය හතළිස් නවයේ දී ඇන්ටිඕකස් රජ මරණයට පත් විය. 17 රජු මරණයට පත් වූ බව ලිසියස් ඇසූ විට බාල වියේ පටන් තමා විසින් හදාවඩා ඇතිකරන ලද රාජ කුමාරයා වන ඇන්ටිඕකස් මියගිය රජු වෙනුවට සිහසුන් පත් කරවූයේ ය. තවද, හෙතෙම යුපාටොර් යන නාමය ද එම රාජ කුමාරයාට තැබී ය.

ජූදස් ජෙරුසලම වටලෑම

18 ජෙරුසලම් බලකොටුවෙහි සිටි භටයන් ශුද්ධස්ථානය අවට ප්‍රදේශයෙහි විසූ ඉශ්රායෙල්වරුන්ට අනතුරු කිරීමට නිතර ම අවස්ථාව සොයමින්, විජාතිකයන්ට මහත් ලෙස උදව් උපකාර කරන්නට වූ බැවින් ඔව්හු, ඉශ්රායෙල්වරුන්ට තර්ජනයක් වූ හ. 19 ජූදස් ද ඔවුන් වනසාලීමට තීරණය කරගෙන, ඔවුන් වටලනු පිණිස යුද්ධ කටයුතු සඳහා මුළු සෙනඟ එක්රැස් කෙළේ ය. 20 ඔව්හු එකතු වී වර්ෂ එකසිය පණහේ දී නගරය අල්ලාගනු පිණිස වේදිකා ද වටලන යන්ත්‍ර ද ඉදිකර බලකොටුව වැටලූ හ. 21 එහෙත් වටලනු ලැබූ අයගෙන් සමහරෙක් බාධක කඩා බිඳගෙන පැමිණියහ. ඉශ්රායෙල්වරුන් වෙතින් පලා ගිය මිනිස්සු ගණනාවක් ද මොවුන් හට එකතු වූ හ. 22 මේ සියල්ලෝ ම රජු වෙත පැමිණ මෙසේ කී හ. ”ඔබ යුක්තිය ඉටු කර, අපේ සෙනඟ කළ වැරැද්දට ඔවුන්ට දඬුවම් කරන තෙක් අප කොපමණ කල් බලා සිටින්න ද? 23 ඔබේ පියාට සේවය කිරීමෙන් ද ඔහුගේ නියමයන්ට එකඟ වීමෙන් ද ඔහුගේ ආඥාවලට කීකරු වීමෙන් ද අපි සතුටු වී සිටියෙමු. 24 එහි ප්‍රතිඵලය වූයේ අපේ ම සෙනඟ විසින් අප කොන් කරනු ලැබීම යි. එපමණක් නොවේ, ඔව්හු අපෙන් ඔවුන්ට අසු කරගන්නට පුළුවන් වූ සියලු දෙනා ම මරාදමා අපේ උරුමය ද කොල්ලකෑ හ. 25 ඔවුන් මෙසේ පහර දී ඇත්තේ අපට පමණක් නොව ඔබේ විජිත සියල්ලට ම ය. 26 මේ මොහොතෙහි දී ජෙරුසලමේ බලකොටුව අල්ලාගනු පිණිස ඔව්හු එය වටලමින් සිටිති. තවද, ඔවුන් ශුද්ධස්ථානය ද බෙත්-ශූර් නගරය ද ශක්තිසම්පන්න කර ඇත. 27 මෙය වළක්වන පිණිස ඔබ දැන් ම කල් ඇති ව ක්‍රියා නොකළහොත් ඔවුන් වඩාත් භයානක දේවල් පවා කරනු ඇත. එවිට කවදාවත් ඔබට ඔවුන් දමනය කළ නොහැකි වනු ඇත.”

සතුරු සේනාවල යුද්ධ ව්‍යාපාරය

28 මෙය ඇසූ රජ තෙමේ අතිශයින් කෝපාවිෂ්ට වී පාබළ හමුදාවල සේනාධිපතීන් ද අශ්ව හමුදාවේ නායකයන් ද වන තම මිතුරන් සියලු දෙනා කැඳවී ය. 29 තවද ඔහු වෙනත් රාජ්‍යවලින් සහ දිවයින්වලින් කුලියට ගත් භටයන් ද පුහුණු කරවූයේ ය. 30 ඔහුගේ හමුදාවත් ගණන් කළ විට, පාබළ හමුදාවේ භටයෝ එක් ලක්ෂයක් වූ හ. අශ්ව සේනාව විසි දහසක් වූ හ. සටන් පිළිබඳ මනා අත්දැකීම් සහිත වූ ඇත්තු තිස් දෙදෙනෙක් ද වූ හ. 31 ඔව්හු ඉදුමියාව මැදින් ඉදිරියට ගොස් බෙත්-ශූර් නගරය වටලා, දින ගණනක් නොකඩවා ම ඊට පහර දුන්හ. ඔව්හු නගර වටලන යුද්ධ යන්ත්‍ර ද සෑදූ හ. එහෙත් ආරක්ෂක භටයෝ ධෛර්යවත් ව ඔවුන්ට විරුද්ධ ව සටන් කරමින් හදිසි පහරක් දී ඒ යන්ත්‍රවලට ගිනි තැබූ හ.
32 එවිට ජූදස් බලකොටුව වටලෑම නවතා රාජකීය කඳවුර ඉදිරිපිටින් වූ බෙත්-ශෙකරියා නම් ස්ථානයේ කඳවුරු බැන්දේ ය. 33 රජ තෙම අලුයම අවදි ව බෙත්-ශෙකරියා නගරය දෙසට තම හමුදාව ඉතා වේගයෙන් ගමන් කරවී ය. එහි දී ඒ හමුදා යුද්ධයට පිළිවෙළින් පෙළගැසී සැරසී හොරණෑ ශබ්ද කළහ. 34 ඇතුන් සටනට සූදානම් කරවනු පිණිස උන්ට පැණි සහිත මිදි ගෙඩි සහ රට ඇඹිල්ල පෙන්වන ලදී. 35 ඉන්පසු ඔව්හු එක එක ඇතාට සන්නාහ සන්නද්ධ ලෝකඩ හිස් වැසුම් ලා ගත් මිනිසුන් දහස බැගින් වෙන් කොට, ඒ සතුන් සටන් වැදෙන පිරිස අතරෙහි බෙදා හැරියහ. එක එක සතාට තෝරාගන්න ලද අශ්ව භටයෝ පන්සියය බැගින් ද වෙන් කරනු ලැබූ හ. 36 ඇතුන් ගත් සෑම පියවරක් ම අශ්ව භටයෝ කල්තියා දැන සිටියහ. ඇතුන් ගිය සෑම තැන ම අශ්ව භටයෝ ද ගියහ; ඔව්හු කෙසේ වත් උන්ගෙන් වෙන් නොවූ හ. 37 ඇතුන් සියලු දෙනා ආරක්ෂා කරනු පිණිස උන්ගේ පිට බඳපටිවලින් වෙළනු ලැබ, නිසි පිළිවෙළට තැබූ ලීයෙන් සාදන ලද ශක්තිමත් අට්ටාලයක් ඒ මත විය. ඇතුන් මෙහෙයවන්නා ද උස් ස්ථානයක සිට සටන් කළ හැකි පිරිසක් ද ඒවායෙහි වූ හ. 38 අශ්ව සේනාවේ ඉතිරි කොටස සතුරාට හිරිහැර කරන පිණිසත් සටන් පිරිස් ආරක්ෂා කරන පිණිසත් හමුදාවේ දෙපැත්තෙන් එක පැත්තක සිටුවනු ලැබූ හ.
39 ඉරු එළිය ලෝකඩ සහ රන් පලිහ මත වැටී බැබළෙන විට එයින් කඳුකරය දිස්නය වූ නිසා ඒවා ගිනිගත් පන්දම් මෙන් බබළන්නට විය. 40 රජුගේ සේනාවෙන් කොටසක් කඳුකරයේ ඉහළ කොටසෙහි ද අනික් කොටස මිටියාවතේ සමභූමියෙහි ද පැතිරී සිටියහ, සියල්ලෝ ම නිසි පිළිවෙළට නිසැක ව ඉදිරියට ගමන් ගත්හ. 41 මේ විශාල පිරිසගේ ශබ්දයත්, ඉදිරියට යමින් සිටි සේනාවන්ගේ ගිගිරුම් හඬත් ඔවුන්ගේ සන්නාහයන් ගැටීමේ හඬත් නිසා ඇති මහා ඝෝෂාවෙන් සියල්ලෝ ම කම්පා වූ හ. එය අතිවිශාල අතිබලසම්පන්න හමුදාවක් විය. 42 එවිට ජූදස් සහ ඔහුගේ සේනාව ද සටන් පිණිස ඉදිරියට ගියහ. සටන් නිසා රජුගේ සේනාවෙන් හය සියයක් මැරුම්කෑ හ. 43 අවරන් නම් ලත් එලෙයාසර් තෙමේ රාජකීය ඇඳුම්ආයිත්තම්වලින් සරසන ලදුව අනිත් ඇතුන්ට වඩා උස් ව සිටි ඇතෙකු දැක, ඌ පිට රජු අසුන් ගෙන සිටිතැ යි සිතාගෙන, 44 තම ජනතාව ගළවාගෙන අමරණීය කීර්තියක් හිමි කරගන්න අදහසින් යුතු ව ක්‍රියා කිරීමෙන් තම ජීවිතය පූජා කෙළේ ය. 45 ඔහු ඒ සටන් පිරිස මැදින් වේගයෙන් ඉදිරියට යමින්, දකුණට හා වමට වේගයෙන් පහර දෙමින්, සෙනඟ පීරාගෙන ඒ සතා වෙත වේගයෙන් ගියේ ය. එවිට සතුරො‍් ද එම පහරින් බේරෙන පිණිස දෙපැත්තට පැනීමෙන් විසිරී ගියහ. 46 ඉන්පසු ඔහු ඇතාගේ බඩ යටට ම ගොස් ඌට කඩුවෙන් ඇණ ඌ මරාදැමී ය. සතා ද ඔහු මත මැරී වැටිණ. ඔහු ද ඌට යට වී එතැන ම මළේ ය. 47 රජුගේ ශක්තිසම්පන්නකමත්, රාජකීය සේනාවල රෞද්‍රකමත් දුටු විට ජුදෙව්වරු සතුරු සේනාව ඉදිරියෙන් පසුබැස්සෝ ය.

සිරියන්වරුන්ගේ ආක්‍රමණය

48 ජෙරුසලම ඉදිරිපිට සිටි ඔවුන්ට විරුද්ධ ව සටන් කිරීමට රාජකීය හමුදාව ගමන් කෙළේ ය. රජ තෙමේ ද, ජුදයාව සහ සියොන් කන්ද අවහිර කිරීමට පටන්ගත්තේ ය. 49 ඔහු බෙත්-ශූර්හි සිටි සෙනඟට සාම කොන්දේසි දුන් බැවින් ඔව්හු ඒ නගරය අත්හැර ගියහ. එකල ඒ දේශයේ සබත් වර්ෂයක් තිබූ නිසා වටලෑමක දී අවශ්‍ය වන ආහාර ගබඩා එහි නො වී ය. 50 රජ තෙම බෙත්-ශූර් නගරය අල්ලාගත් පසු එය මුර කිරීමට ආරක්ෂක සේනා සහිත බළ ඇණියක් එහි සිටවූයේ ය. 51 ඉන්පසු ඔහු නගරවලට ගිනි හුළු වීසි කරන්නන් සහිත වේදිකාව ද නගර වටලන යුද්ධ යන්ත්‍ර ද ගිනි වීසි කරන්නන් ද ගිනි වීසි කරන යන්ත්‍ර ද දමාගසන රළු ආයුධ ද ගල් පටි ද යන මේවා ඇති ව, බොහෝ කාලයක් මුළුල්ලෙහි ශුද්ධස්ථානය වටලෑමෙහි යෙදුණේ ය. 52 මුර භටයන් ද ඒවාට විරුද්ධ ව ඔවුන්ගේ ම යුද්ධ යන්ත්‍ර සෑදූ බැවින් සටන් දික් ගැස්සීමට ඔවුන්ට පුළුවන් විය. 53 එය හත් වන අවුරුද්ද වූ බැවින් එහි ආහාර තොග කිසිවක් නොමැති විය. තවද, විජාතිකයන්ගෙන් ජුදයා දේශයෙහි සැඟවී සිටි අය ඔවුන්ගේ ඉතිරි කෑම ටික අනුභව කොට තිබිණි. 54 සාගතය ඉතා දරුණු වූ බැවින් ශුද්ධස්ථානයෙහි ඉතිරි වූවෝ ටික දෙනෙක් පමණක් වූ හ. සෙස්සෝ විසිරී ගෙවලට ගියහ.

ජුදෙව්වරුන්ට ආගමික නිදහස දීම

55 මේ අතරතුර ඇන්ටිඕකස් රජු විසින් තම මරණයට කලින් තමාගේ පුත් ඇන්ටිඕකස් කුමරු රජකමට පුහුණු කිරීම සඳහා පත් කරනු ලැබූ පිලිප් නමැත්තා 56 රජු කැටුව ගිය හමුදාවන් සමඟ පර්සියාවෙන් සහ මේදියාවෙන් හැරී අවුත්, රාජ්‍ය පාලනයේ කටයුතු පැහැරගැනීමට සිත සිතා සිටියේ ය. 57 ලිසියස් මේ ගැන ඇසූ විට, එක් වර ම නික්ම යාමට තීරණය කරගෙන, රජතුමා ද හමුදා සෙන්පතියන් ද සෙනඟ ද අමතා මෙසේ කී ය: ”අපි දවසින් දවස දුර්වල වීගෙන යන්නෙමු. අපට ආහාර හිඟ ය. අප විසින් වටලන ලද ස්ථානය ද ඉතා ශක්තිසම්පන්න ය. ඇරත් රාජධානියේ කටයුතු ගැනත් අපේ අවධානය යොමු කළ යුතු ය. 58 එබැවින් අපි මේ මිනිසුන් සමඟ මිත්‍ර වී ඔවුන් සමඟ ද ඔවුන්ගේ මුළු ජාතිය සමඟ ද සාමදාන වෙමු. 59 ඔවුන්ගේ සම්ප්‍රදායයන් පහ කිරීම නිසා මෙලෙස ක්‍රියා කිරීමට ඔවුන් පොළඹවනු ලැබූ බැවින්, කලින් තිබුණාක් මෙන් ඔවුන්ගේ සම්ප්‍රදායයන් අනුගමනය කරන්නට අපි ඔවුන්ට අවසර දෙමු.” 60 ඔහු මෙසේ කී පසු, රජු ද ඔහුගේ සෙන්පතීන් ද මේ කථාව අනුමත කළ බැවින්, ඔහු ජුදෙව්වරුන්ට සාම යෝජනාවක් යැවී ය. ජුදෙව්වරු ද එය පිළිගත්හ. 61 රජ තෙමේ ද සෙන්පතීහු ද එම ගිවිසුම දිවුරුමකින් අනුමත කළහ. ඒ අනුව, වටලා සිටි අය බලකොටුවෙන් නික්ම ගියහ. 62 එවිට රජ තෙම සියොන් කන්දට ඇතුළු විය. එහෙත් එම ස්ථානය බිඳ හෙළිය නොහැකි වන පමණට, එය කොපමණ ශක්තිමත් ද යන්න ඔහු දුටු විට, තමා විසින් ඊට කලින් දෙනු ලැබූ දිවුරුම කඩ කරමින්, වටේට පිහිටි ප්‍රාකාරය කඩා බිඳදමන ලෙස අණ කෙළේ ය. 63 එවිට ඔහු ඉක්මනින් කඳවුරු ගලවා අන්තියෝකිය නුවරට ආපසු ගියේ ය. එහි දී නගරයේ ස්වාමියා පිලිප් බව ඔහුට පෙනී ගියේ ය. එබැවින් ඇන්ටිඕකස් ඔහුට විරුද්ධ ව සටන් කොට නගරයට පහර දී එය අල්ලාගත්තේ ය.