1 මකබි – 7 වන පරිච්ඡේදය –

පළමු වන දෙමෙත්‍රියස්ගේ රාජ්‍ය පාලනය

1 වර්ෂ එකසිය පණස් එකේ දී සෙලෙවුකස්ගේ පුත් දෙමෙත්‍රියස් රො‍්මයෙන් ගැළවී ස්වල්ප දෙනෙකු සමඟ මුහුදුබඩ නගරයකට පැමිණියේ ය. 2 එහි දී ඔහු රජකමට පත් විය. 3 ඔහුගේ පියවරුන්ගේ රාජ භවනට ඇතුළුවන්නට යද්දී ඔහුගේ හමුදාව, ඔහු ඉදිරියට ගෙන ඒමට අදහස් කොට, ඇන්ටිඕකස් සහ ලිසියස් අත්අඩංගුවට ගත්තේ ය. එහෙත් මෙය ඇසූ විට, ඔහු කතා කොට, ”මට ඔවුන් දකින්නට ඉඩ නොතබන්නැ”යි කී ය. 4 එබැවින් හමුදාව ඔවුන් මරා දැමුවායින් පසු ව, දෙමෙත්‍රියස් සිංහාසනාරූඪ විය. 5 එවිට ඉශ්රායෙල් දේශයේ සිටි සියලු ද්‍රෝහියෝ ද අභක්තිකයෝ ද රජු වෙතට පැමිණියහ. ඔවුන් එසේ පැමිණියේ නායක පූජක තනතුරට පත් වීමට අදහස් කරගෙන සිටි ඇල්සිමස් නමැත්තාගේ බල කිරීම යටතේ ය. 6 ඔව්හු රජු ඉදිරියෙහි සෙනඟට විරුද්ධ ව චෝදනා කළහ. ඔව්හු කතා කරමින්, ”ජූදස් ද ඔහුගේ සහෝදරයෝ ද ඔබේ මිත්‍රයන් සියලු දෙනා ම මරාදැමූ හ. තවද, ඔව්හු අප ද අපේ රටින් පන්නාදැමූ හ. 7 එබැවින් ඔබ දැන් ඔබට විශ්වාස කළ හැකි යම් තැනැත්තෙකු යවනු මැනවි. ඔහු ගොස් ජූදස් විසින් අප පිටත් රජුගේ යටත් විජිතයන් පිටත් පමුණුවා තිබෙන මහා සංහාරය බැලිය යුතු ය. ඔහු ඒ කාලකණ්ණින්ටත් ඔවුන්ට සහාය දුන් සියලු දෙනාටත් දඬුවම් කළ යුතු ය”යි සැළ කළහ.
8 එවිට රජ තෙම ස්වකීය දේශයේ ශ්‍රේෂ්ඨයෙකු වූ ද තමාට පක්ෂපාතී වූ ද යුප්‍රටීස් ගංගාවෙන් එපිට ප්‍රදේශයෙහි ආණ්ඩුකාරයා වූ ද තමාගේ හිත මිතුරෙකු වූ ද බක්කිදෙස් තෝරාගත්තේ ය. 9 මෙලෙස රජ තෙම ඔහු තෝරාගෙන, නායක පූජක තනතුරට පත් කරනු ලැබූ අභක්තික ඇල්සිමස් සමඟ, ඉශ්රායෙල්වරුන්ගෙන් පළිගන්නා පිණිස අණ දී, ඔහු යැවී ය. 10 මෙලෙස ඔව්හු විශාල හමුදාවක් සමඟ පිටත් ව ගොස් ජුදා දේශයට පැමිණ ජූදස් සහ ඔහුගේ සහෝදරයන් වෙත ව්‍යාජ සාම පොරොන්දු ඇති ව දූතයන් යැවූ හ. 11 ඔවුන් විශාල සේනාවක් පිරිවරාගෙන පැමිණි බැවින් ජූදස් සහ ඔහුගේ සහෝදරයෝ ඔවුන් නොපිළිගත්හ. 12 කෙසේ වුව ද, සාධාරණ සාම කොන්දේසි ඉල්ලන පිණිස ලේකම්වරුන්ගේ කමිටුවක් ඇල්සිමස් සහ බක්කිදෙස් ඉදිරියෙහි පෙනී සිටියහ. 13 ඉශ්රායෙල්වරුන් අතරෙන් සාම කොන්දේසි ඉල්ලීම සඳහා පළමුවෙන් ම ඉදිරිපත් වූවෝ බසිදියන්වරු ය. 14 ”සන්නාහ සන්නද්ධ සේනාවක් සමඟ මේ පැමිණ සිටින්නේ ආරොන්ගේ පෙළපතේ පූජකවරයෙකි. එබැවින් ඔහු අපට නපුරක් නොකරන්නේ ය” කියා, ඔව්හු කල්පනා කළහ. 15 ඇත්තෙන් ම ඔහු ඔවුන් සමඟ සාම කොන්දේසි සාකච්ඡා කොට, ”අපි ඔබට වත් ඔබේ මිතුරන්ට වත් හානියක් කිරීමට උත්සාහ නොකරන්නෙමු”යි ඔවුන්ට දිවුරුම් දුන්හ. 16 ඔවුන් ඔහු විශ්වාස කළ නමුත්, ඔහු ඔවුන් අතරෙන් හැට දෙනෙකු සිරභාරයට ගෙන එක දවසේ දී ම ඔවුන් මරාදැමී ය. මෙලෙස ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි 17 ‘ඔවුන් ඔබේ බැතිමතුන්ගේ මාංස විසුරුවාදමා ඇත. ජෙරුසලම වටේට ම ඔවුන්ගේ ලේ වගුරුවා ඇත. මිනීවළක් කැණීමට පවා කිසිවෙක් නැත’ යන වචන සම්පූර්ණ විය. 18 මෙය සිදු වූ විට මුළු සෙනඟ බියෙන් සහ සංත්‍රාසයෙන් ඇලළී ගියහ. ඔව්හු කතා කොට, ”ඒ අය ඇත්ත කියන අය වත් දැහැමි අය වත් නොවෙති. ඔව්හු තමන් කළ ගිවිසුමත් දුන් දිවුරුමත් කඩ කෙළෝ ය”යි කී හ.
19 එවිට බක්කිදෙස් ජෙරුසලමෙන් නික්ම ගොස් බෙත්සයිත් නම් නුවර කඳවුරු බැඳ එහි සිට දූතයන් යවා තමා අත්හැර ගිය බොහෝ දෙනෙකුන් ද සෙනඟගෙන් සමහර දෙනෙකුන් ද අත්අඩංගුවට ගෙන ඔවුන් මරා ඔවුන්ගේ මළකඳන් මහා වළකට වීසි කෙළේ ය. 20 ඉන්පසු ඔහු ඇල්සිමස්ට පළාතේ වගකීම පවරා දී ඔහුට සහාය වීමට ඔහු සමඟ සේනාවක් නැවැත්වී ය. මෙසේ කළ පසු බක්කිදෙස් තෙමේ රජු වෙත ආපසු ගියේ ය. 21 ඇල්සිමස් නායක පූජක තනතුර සඳහා වූ තම සටන දිගට ම කරගෙන ගියේ ය. 22 ඔවුන්ගේ ම සෙනඟ අතර වූ, සාමයට විරුද්ධ ව ක්‍රියා කළ අය ද ඔහුට එකතු වූ හ. ඔව්හු ජුදා දේශයේ පාලනය අල්ලාගෙන, ඉශ්රායෙල්වරුන් අතර මහා සංහාරයක් කළහ. 23 ඇල්සිමස් සහ ඔහුගේ සහායකයන් විසින් ඉශ්රායෙල්වරුන්ට කරන ලද සියලු දුෂ්ටකම් විජාතිකයන් කළ ඒවාටත් වැඩි වූ බව දැක, 24 ජූදස් තෙමේ තමන් අත්හැර ගිය අයගෙන් පළිගන්නා පිණිසත් ඔවුන් රට තුළ නිදහසේ යාම් ඊම් කිරීම වළක්වන පිණිසත් මුළු ජුදා දේශය වටේට ම ගමන් කෙළේ ය.
25 ජූදස් සහ ඔහුගේ සහායකයන් කොපමණ ශක්තිසම්පන්න වී සිටිත් දැ යි දුටු ඇල්සිමස් ඔවුන්ට විරුද්ධ ව යාමට තමාට ශක්තිය නැති බව තේරුම් ගෙන රජු වෙත හැරී ගොස් ඔවුන්ට විරුද්ධ ව සාපරාධී චෝදනා රජුට ඉදිරිපත් කෙළේ ය.

කපර්සලමාහි වූ සටන

26 එවිට රජ තෙමේ ඉශ්රායෙල්වරුන්ගේ පරම සතුරෙකු වූ ද ‘ශ්‍රීමත්’ යන නම්බු නාමය ලැබ සිටියා වූ ද නිකනෝර් නම් සෙන්පතියාට සෙනඟ විනාශ කරන ලෙස අණ දී ඔහු පිටත් කර යැවී ය. 27 විශාල හමුදාවක් සමඟ ජෙරුසලමට පැමිණි පසු නිකනෝර් ජූදස් සහ ඔහුගේ සහෝදරයන් වෙත දූතයන් යවමින් ව්‍යාජ සාම යෝජනා ඉදිරිපත් කෙළේ ය. 28 ”ඔබත් මාත් අතර අපි සටන් නොකරමු. මම කුඩා පිරිවරක් සමඟ පැමිණ සාමදානයෙන් මුහුණට මුහුණ දී ඔබ හමු වන්නෙමි”යි කී ය. 29 ඔහු ජූදස් වෙත පැමිණි විට, ඔව්හු තරමක සාමදානයෙන් අන්‍යොන්‍ය ලෙස එකිනෙකාට ආචාර සමාචාර කළහ. එහෙත් මෙලෙස කිරීමෙන් ජූදස් පැහැරගෙන යාමට සතුරා සියල්ල සූදානම් කර තිබිණි. 30 තමා හමුවීමට පැමිණි නිකනෝර්ගේ මේ ද්‍රෝහි අදහස දැනගත් විට, ජූදස් බිය වී ඉන්පසු නිකනෝර් හමු වීම ප්‍රතික්ෂේප කෙළේ ය. 31 නිකනෝර් ද ජූදස් තමාගේ කූට උපාය තේරුම්ගෙන තිබෙන බව දැනගත් විට, කපර්සලමා නම් ස්ථානයේ දී ජූදස්ට විරුද්ධ ව සටනට ගියේ ය. 32 එහි දී නිකනෝර්ගේ සෙනඟගෙන් පන්සියයක් පමණ දෙනා මැරුම්කෑ හ. සෙස්සෝ දාවිත්ගේ නගරයෙහි සැඟවුණාහ.

දේව මාලිගාවට තර්ජන කිරීම

33 මේ සිද්ධියෙන් පසු ව නිකනෝර් සියොන් කන්දට නැඟී ගියේ ය. එවිට ප්‍රජා මූලිකයන් කීප දෙනෙකු සමඟ සමහර පූජකවරු නිකනෝර් සාමදානයෙන් පිළිගැනීමටත්, රජු උදෙසා ඔප්පු කරන ලද දවන යාග පූජාව පෙන්වීමටත් ශුද්ධස්ථානයෙන් පිටත් ව ආහ. 34 එහෙත් ඔහු ඔවුන්ට කවටකම් කරමින්, මුහුණට ම සිනාසී, ඔවුන් කෙලෙසා, කෝපාවිෂ්ට වී, දිවුරුම් දෙමින්, අහංකාර වචන පාවිච්චි කරමින්, 35 ”නුඹලා මෙවර ජූදස් සහ ඔහුගේ සේනාව මට පාවා නුදුන්නොත්, මා සුව සේ හැරී ආ විට, මේ ගොඩනැඟිල්ල ගිනිබත් කරන්නට පොරොන්දු වෙමි”යි කීවේ ය. ඔහු මෙසේ කියා තද කෝපයෙන් යන්නට ගියේ ය. 36 එවිට පූජකවරු දේව මාලිගාවට ගොස් පූජාසනය සහ ශුද්ධස්ථානය අබිමුව කඳුළු හෙළමින්, 37 ”දෙවියන් වහන්ස, මේ මාලිගාව යාච්ඤාවට ද ඔබේ සෙනඟගේ අයැදුම්වලට ද මාලිගාවක් වන ලෙස, ඊට ඔබේ නාමය දෙමින් ඔබ එය තෝරාගත් සේක. 38 මේ මිනිසාට ද ඔහුගේ සේනාවට ද දඬුවම් කරනු මැනවි. ඔව්හු කඩුවෙන් මරණයට යත් වා! ඔවුන්ගේ දේවාපහාසය සිහි කොට ඔවුන්ට කිසි ම ඉඩ ප්‍රස්තාවක් දානය නොකළ මැනව”යි යාච්ඤා කළහ.

සතුරාගේ පරාජය

39 නිකනෝර් ජෙරුසලමෙන් නික්ම විත් බෙත්-හොරොන් නම් ස්ථානයේ කඳවුරු බැන්දේ ය. සිරියාවෙන් පැමිණි සේනාවක් ද එහි දී ඔහුට එකතු විය. 40 එවිට ජූදස් තුන් දහසක සේනාවක් සමඟ අදසා නම් ස්ථානයේ කඳවුරු බැඳ මෙලෙස යාච්ඤා කෙළේ ය: 41 ”දෙවියන් වහන්ස, අසිරියාවේ රජුගේ තානාපතියන් දේවාපහාස කී විට ඔබේ දූතයා නික්ම ගොස් ඔහුගේ සෙනඟ අතරෙන් එක් ලක්ෂ අසූ පන්දහසකට පහර දී මැරුවේ ය. 42 එලෙස ම ඔබ වහන්සේ අද දින මේ සේනාව විනාශ කරදැමීම අපට දකින්නට ලැබේ වා! එසේ කළ විට, මේ මිනිසා ඔබේ ශුද්ධස්ථානයට විරුද්ධ ව දේවාපහාස කී බව අනෙක් අය දැනගන්නෝ ය. ඔහුගේ දුෂ්ටකම අනුව ඔබ වහන්සේ ඔහු විනිශ්චය කරන සේක් වා!”
43 මෙසේ යාච්ඤා කළ පසු, අදාර් මාසයේ දහතුන් වන දින යුද්ධ සේනාවෝ සටන් වැදුණාහ. ඒ සටනින් නිකනෝර්ගේ හමුදාව පරාජය ලැබී ය. තවද ඒ සටනේ දී පළමුවෙන් ම මැරුම්කෑවේ ඔහු ය. 44 නිකනෝර් මැරුම්කෑ බව ඔහුගේ යුද්ධ භටයන් දුටු විට ඔව්හු තමන්ගේ යුද්ධායුධ විසි කරදමා පලා ගියහ. 45 අදසා සිට ගෙසෙර් නම් ස්ථානයට ඇතුළු වන තෙක්, මුළු දවසක් ම ජුදෙව්වරු ඔවුන් ලුහුබැඳ ගියහ. මෙසේ ලුහුබැඳ යද්දී, අනතුරු ඇඟවීමක් වශයෙන් ඔව්හු තමන්ගේ හොරණෑ පිම්බෝ ය. 46 එවිට මුළු ජුදයාව අවට සෑම ග්‍රාමයකින් ම සෙනඟ අවුත් ඔවුන්ගේ පලායාමට අවහිර කළහ. එවිට සතුරු හමුදාව තමන්ගේ සෙනඟට විරුද්ධ ව සිටි බැවින් සියල්ලෝ ම කඩුවෙන් මැරුම්කෑ හ. එක් කෙනෙකු වත් ඉතිරි නො වී ය. 47 ජුදෙව්වරු කොල්ලය හා පැහැරගත් දේවල් එකතු කරගෙන නිකනෝර්ගේ හිස ද අහංකාරය පෙන්වීමට එසවූ ඔහුගේ දකුණු අත ද කපාගෙන ගොස් ජෙරුසලමේ ජනතාවට පෙනෙන පරිදි ඒවා දැක්වූ හ. 48 සෙනඟ ද නිම්හිම් නැති ප්‍රීතියට පත් වී එදින මහා නිවාඩු දිනයක් ලෙස පැවැත්වූ හ. 49 තවද, අදාර් මාසයේ දහතුන් වන දින එම උත්සවය අවුරුදුපතා ම පැවැත්වීමට ද ඔව්හු තීරණය කළහ. 50 මෙලෙස ස්වල්ප කාලයකට ජුදා දේශයේ සාමය පැවතිණි.