2 මකබි – 5 වන පරිච්ඡේදය –

මෙනෙලාවුස් සහ ජේසන්

1 ඒ කාලයෙහි දී ඇන්ටිඕකස් තෙමේ දෙ වන වරටත් මිසරයට විරුද්ධ යුද්ධයක් පටන්ගත්තේ ය. 2 මුළු නගරය පුරා දවස් සතළිසක් මුළුල්ලෙහි රන්වන් වස්ත්‍රාභරණවලින් සැරසී අහස් කුස පීරාගෙන යන අසරුවෝ ද සන්නාහ සන්නද්ධ ව හෙල්ල ගත් අත් ඇති ව සිටි හමුදාව ද පහර දෙමින් 3 ඔබමොබ වේගයෙන් දිව යමින් පිළිවෙළට සැදුම්ලත් අශ්ව සේනා ද වූහ. පලිස් රාශියක් ද හෙල්ල මහත් රැසක් ද කඩු හරඹ ද ආයුධ විසි කිරීම් ද රන්වන් ඇඳුම් ආයිත්තම්වල දීප්තිය ද විවිධ අවිආයුධ ද දර්ශනය විය. 4 මේ සියල්ල ප්‍රකාශ වීම සුබ නිමිත්තක් වන ලෙස සියලු දෙනා යාච්ඤා කළහ.
5 එවිට ‘ඇන්ටිඕකස් මියගියේ ය’ යන බොරු ආරංචිය පැතිර යාම නිසා ශක්තිසම්පන්න වූ ජේසන් තෙමේ යටත්පිරිසෙයින් දහසක් පමණ මිනිසුන් රැගෙන නගරයට විරුද්ධ ව බලාපොරොත්තු නුවූ අන්දමකින් පහර දුන්නේ ය. පවුර ආරක්ෂා කළ හමුදාවෝ පසු බැස ගියහ. නගරය අල්ලාගැනීම ඉතා සමීප වූ බැවින්, මෙනෙලාවුස් ද බලකොටුව තුළ සැඟවිණි. 6 එහෙත් ජේසන් තෙමේ තමාගේ ම පුරවැසියන් නිර්දය ලෙස ඝාතනය කරමින් සිටියේ ය. තමාගේ ම දේශවාසීන් එසේ මරාදැමීම මහා විපත්තියක් ලෙස හේ නොසැලකී ය. තමාගේ ම ලේ මස් හා සමාන ඔවුන් මරාදැමීම ඔහු කල්පනා කෙළේ යම් කිසි සතුරෙකුට විරුද්ධ ව සටන් කොට ජයගෙන ජයසංකේත ලබාගැනීමක් හැටියට ය. 7 කෙසේ වුවත් ඔහුට බලය අල්ලාගත නොහැකි විය. ඔහුගේ කුමන්ත්‍රණයෙහි ප්‍රතිඵලය වශයෙන් අන්තිමේ දී ඔහුට අත් වූයේ අපකීර්තිය පමණක් වූ හෙයින්, ඔහු නැවතත්, අම්මොන්වරුන්ගේ දේශයෙහි සැඟවෙන්නට ගියේ ය. 8 මෙලෙස ඔහුගේ දුෂ්ට ව්‍යපාරය නවත්වන ලදී. අරාබි ජාතික කෲර පාලකයෙකු වූ අරේතාස් විසින් මෙල්ල කරනු ලැබ, නුවරින් පලායමින් සියල්ලන් විසින් දඩයම් කරනු ලැබීමට පාත්‍ර වූ ඔහු, ව්‍යවස්ථාවට එරෙහි ව කැරලි ගැසූවකු හැටියට ද්වේෂයට පාත්‍ර කරනු ලැබ, ඔහුගේ ම රටෙහි රට වැසියන් විසින් ‘අළුගෝසුවා’ මෙන් පිළිකුල් කරනු ලැබ, මිසරයට ගියේ ය. 9 අවසානයේ දී තමාගේ නෑ සබැඳියාව නිසා ස්පාර්ටාවෙහි ජනයා තමාට ආරක්ෂාව සලසා දෙති යි සිතා ඔහු එහි ගිය නමුත්, සිය රටින් බොහෝ දෙනෙකු පිටුවහල් කළ ඔහු විදේශීය භූමියක දී විනාශ වී ගියේ ය. 10 ඔහු විසින් බැහැර කරදමනු ලැබූ බොහෝ මළකඳන් භූමදාන නොකර තිබුණා සේ ම දැන් ඔහු උදෙසා කිසිවෙක් නොවැලපුණාහ. ඔහු උදෙසා කිසි ම අවමංගල්‍ය වත්පිළිවෙතක් නොපැවැත්වූ හ. ඔහුගේ මුතුන්මිත්තන්ගේ සොහොන් ගැබෙහි තැනක් පවා ඔහුට නොලැබිණි.

ඇන්ටිඕකස් එපිපානෙස් දේව මාලිගාව කොල්ලකෑම

11 සිදු වූ දේ ගැන රජුට අසන්නට ලැබුණු විට, ඔහු ජුදාවේ සෙනඟ කැරලි ගසති යි යන නිගමනයට බැසගත්තේ ය. එබැවින් වල් සතෙකු මෙන් කෝපාවිෂ්ට වූ ඔහු මිසරයෙන් පිටත් ව ගොස් නගරයට පහර දෙන්නට පටන්ගත්තේ ය. 12 එවිට ඔහු හමු වන සියල්ලන් ම කිසි ම අනුකම්පාවක් නොදක්වා මරා දැමීමටත්, තම තමන්ගේ ගෙවල සැඟවුණු සියල්ලන් ද ඝාතනය කිරීමටත් තම සෙබළුන්ට අණ කෙළේ ය. 13 එය බාලයන් හා මහලු අය සමූලඝාතනය කිරීමක් ද කාන්තාවන් හා දරුවන් මරා දැමීමක් ද තරුණියන් හා ළදරුවන් සංහාරයකට යොමු කිරීමක් ද විය. 14 දවස් තුනක් ඇතුළත අසූ දහසක් දෙනා මරණයට ගොදුරු වූ හ; සතළිස් දහසක් සැහැසිකමින් මැරුම්කෑ හ; ඒ හා සමාන ගණනක් වහල්කමට විකුණනු ලැබූ හ. 15 මේ දේවලින් පවා තෘප්තියට පත් නො වූ ඔහු, ව්‍යවස්ථාවටත් තමාගේ රටටත් ද්‍රෝහිකම් කළ මෙනෙලාවුස්ගේ මඟපෙන්වීම යටතේ, මුළු ලෝකයාගේ ම පූජනීය ස්ථානය වූ දේව මාලිගාවට ඇතුළු වීමට පවා නිර්භීත ගතියක් දැක්වූයේ ය. 16 ඔහු තම අපවිත්‍ර අත්වලින් ශුද්ධ භාජන උදුරාගත්තේ ය. වෙනත් රජවරුන් විසින් එම ස්ථානයේ උන්නතියටත් කීර්තියටත් ගෞරවයටත් දෙන ලද තෑගිබෝග ඔහුගේ පවිටු අත්වලින් එතැනින් ඉවත් කරන ලදී. 17 දේශවාසීන්ගේ පව් නිසා එම මොහොතේ සමිඳාණන් වහන්සේ කෝප වී සිටින බව අහංකාරයෙන් පිරී සිටි ඇන්ටිඕකස් තේරුම් නොගත්තේ ය. එබැවින්, ඔහු එම ශුද්ධස්ථානය ගැන සැලකිල්ලක් නොදැක්වූයේ ය.
18 ඔව්හු බොහෝ පාපවල ඇලී ගැලී නොසිටියෝ නම්, සෙලෙවුකස් රජු භාණ්ඩාගාරය පරීක්ෂා කිරීමට හෙලිඕඩොරස් එවූ අවස්ථාවෙහි දී ඔහුට සිදුවූවාක් මෙන්, ඇන්ටිඕකස් පැමිණි වේලෙහි ඔහුට ද කස පහර කා තමාගේ අහංකාරය මර්දනය කරගන්නට තිබිණි. 19 එහෙත් සමිඳාණන් වහන්සේ සෙනඟ තෝරාගත්තේ, ස්ථානය උදෙසා නොවේ; ස්ථානය තෝරාගත්තේ, සෙනඟ උදෙසා ය. එසේ හෙයින් එම ස්ථානයත්, සෙනඟට විඳින්නට සිදු වූ කම්කටොලුවලට භාජනය වූ පසු, යථා කාලයේ දී, සෙනඟගේ සමෘද්ධියටත් පංගුකාර විය. 20 සව් බලැති තැනැන් වහන්සේ විසින් ස්වකීය උදහස් කාලයේ දී එම ස්ථානය අත්හරිනු ලැබූවත් එම පරමේශ්වර, තැනැන් වහන්සේ සමඟ මිත්‍රත්වය ලැබූ පසු එය සකල මහිමාලංකාරයෙන් විරාජමාන තත්ත්වයට පත් කරන ලදී.

ජුදයාවේ මහා පරිපාලකවරු

21 දේව මාලිගාවෙන් රිදී කාසි දහ අට දාහක් සොරාගෙන පිටත් ව ගිය ඇන්ටිඕකස්, එයින් පසු වහා ම අන්තියෝකිය නගරයට හැරී ආවේ ය. ඔහුගේ අභිලාෂය කොතරම් ඉහළ ගියේ ද යත්, තමාගේ උඩඟුව නිසා වියළි බිමෙහි නැව් යාත්‍රා කරවන්නටත් මුහුද පයින් ගමන් කළ හැකි මාවතක් බවට පත් කරවන්නටත්, පවා ඔහු වෑයම් කරනු විය හැකි ව තිබිණි. 22 මහා වසංගතයකින් ජාතියට පීඩා කරන්නට කළ උත්සාහයක් මෙන්, ඔහු මහා පරිපාලකයෙක් පත් කර ගියේ ය. ඔහු ප්‍රීජියන් ජාතිකයෙකු වූ පිලිප් නමැත්තා ජෙරුසලමට පත් කෙළේ ය. ඔහු වනාහි තමා පත් කළ තැනැත්තාටත් වඩා ම්ලේච්ඡ ස්වභාවයක් ඇත්තෙක් විය. 23 ඔහු ගෙරිසීම් කන්දට ඇන්ඩ්‍රෝනිකස් පත් කෙළේ ය. මොවුන්ට අමතර ව සියල්ලන්ට ම වඩා කෲර වූ මෙනෙලාවුස් සිය වැසියන් පාලනය කිරීමට පත් කෙළේ ය. 24 ජුදෙව්වරුන් කෙරෙහි තිබූ ඔහුගේ බද්ධ වෛරය නිසා රජ තෙම විසි දෙදහසකින් සමන්විත හමුදාවක අධිපති පදවිය පවරා අපොල්ලෝනියස් යැවී ය. යොවුන් වියෙහි සිටි සියලු පිරිමින් මරාදැමීමටත් අඹුදරුවන් විකුණාදැමීමටත් ඔහුට අණ කර තිබුණි. 25 ඔහු ජෙරුසලමට පැමිණ සාමකාමී මිනිසෙකු මෙන් පෙනී සිටිමින්, නිවාඩු දිනයක් වන සබත් දවස එන තෙක් බලා සිටියේ ය. ජුදෙව්වරුන් එදින නිවාඩු ගෙන සිටි බැවින් ඔහු තමාගේ හමුදාවට සන්නාහ සන්නද්ධ වී වීථි දිගේ සංචාරය කිරීමට අණ කෙළේ ය. 26 මෙය නරඹන්නට පැමිණි සියල්ලෝ ම මරන ලදහ. ඉන්පසු සන්නාහ සන්නද්ධ ඒ හමුදා, නගරය මැදින් දිව යමින් විශාල සෙනඟක් මරුමුවට පත් කළො‍් ය.
27 එහෙත් මකබියස් නම් ලත් ජූදස් තව නව දෙනෙකු සමඟ පාළුකරයට ගොස් වත්පිළිවෙත් අනුව දූෂණය නොවන පිණිස ආහාර වෙනුවට වල් පැළෑටි පමණක් කමින් කඳුකරයේ වන සතුන් මෙන් ජීවත් වූ හ.