2 මකබි – 9 වන පරිච්ඡේදය –

ඇන්ටිඕකස් එපිපානෙස්ගේ අවසානය

1 ඒ සමයේ දී ඇන්ටිඕකස් වියවුල් වී පර්සියා දේශයෙන් පසුබැස තිබුණේ ය. 2 පර්සිපොලිස් නගරයේ වූ දේවාලය කොල්ලකා නුවර අල්ලාගැනීමට සිතාගෙන ඔහු ඒ නුවරට ඇතුළු විය. එහෙත් එහි සෙනඟ තමන් ආරක්ෂා කරගැනීමට විගස අවිආයුධ ගත් බැවින්, එහි වැසියන් විසින් ඇන්ටිඕකස් පලවාහරිනු ලැබූ නිසා, නීච ලෙස පසුබසින්නට ඔහුට සිදු විය. 3 ඔහු එක්බතානා නුවරට පැමිණි විට නිකනෝර්ට සහ තිමො‍්තියස්ගේ හමුදාවන්ට සිදු වූ දේ දැනගත්තේ ය. 4 ඔහු කෝපාවිෂ්ට වී තමා පලවාහැරිය අය විසින් තමාට දෙන ලද අපකීර්තිය උදෙසා, ජුදෙව්වරුන්ගෙන් පළිගැනීමට අධිෂ්ඨාන කරගත්තේ ය. මෙසේ අධිෂ්ඨාන කරගෙන, ගමනේ අවසානය දක්වා, නොනවත්වා ම රථය පදවන ලෙස රථාචාර්යයාට අණ කෙළේ ය. එහෙත් ස්වර්ගයෙන් එවන ලද ඔහුගේ දඬුවම ඔහු සමඟ විය. ඔහු කතා කොට: ”ජෙරුසලමට පැමිණි විට මම එය ජුදෙව්වන් සඳහා විශාල මිනීවළක් කරන්නෙමි” අහංකාර පරවශ ව පවසා තිබිණි. 5 එහෙත් සියල්ල දකින සමිඳාණන් වහන්සේ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ, සුව නොකළ හැකි අදෘශ්‍යමාන වේදනාවකින් ඔහුට පහර දුන් සේක. ඔහු එම වචන කීවාත් සමඟ ම ඔහුගේ උදරයෙහි සුව කළ නොහැකි වේදනාවක් ද, දැරිය නොහැකි ඇතුළාන්ත පීඩාවක් ද ඔහුට ඇති විය. 6 මෙසේ වීම යුක්ති සහගත ය. මන්ද වෙනත් අයගේ උදර ප්‍රදේශයන්ට ඔහු වනචාරී ලෙස වද වේදනා පමුණුවා තිබිණි.
7 එහෙත් ඔහුගේ අහංකාරය නම් කිසිසේත් අඩු නො වී ය. උඩඟුවෙන් උදම් වී, ජුදෙව්වන්ට විරුද්ධ ව කෝපාග්නිය පිට කරමින්, වඩාත් වේගයෙන් රථය පදවාගෙන යාමට අණ කරනවාත් සමඟ ම ඔහු හදිසියෙන් සිය රථයෙන් පිටතට විසි විය. මහත් වේගයෙන් මුණින් වැටීම නිසා ඔහුගේ ශරීරයේ සෑම ඇටකටුවක් ම වේදනා උපදවන සුලු විය. 8 මඳ වේලාවකට කලින්, මිනිස් ශක්තිය ඉක්මවා ගිය පාරට්ටුව නිසා, මුහුදේ රළ පතරට පවා අණ කිරීමට සිතූ ඔහු, කඳු ශිඛරයන් තරාදියක දමා කිරන්නට තමාට හැකි ය යි සිතූ ඔහු, දැන් අසරණ ව බිම වැතිර සිටී. එයින් පසු ඔහු යහනක තබා ඔසවාගෙන යන ලදී. මේ සිද්ධිය සියල්ලන්ට ම දේව බලය ප්‍රත්‍යක්ෂ කරවන දෘශ්‍යමාන සාක්ෂියක් විය. 9 මේ අභක්තිකයාගේ දෙනෙත් පවා පණුවන්ගෙන් පිරී ගියේ ය. ඔහු දැඩි වේදනාවෙන් පීඩාවට පත් කරවමින් ඔහුගේ මාංශ පේශි කුණු වී ගියේ ය. එහි දුගඳ නිසා මුළු හමුදාව ම ලෙඩ වූ හ. 10 මඳ වේලාවකට කලින් ඔහු සිටියේ අහසේ තරු අල්ලන්නට සිතාගෙන ය; එහෙත් දැන් ඔහුගේ දුගඳ ඉවසිය නොහැකි වූ නිසා ඔහු උසුලාගෙන යාමට වත් කෙනෙක් නොවූ හ.

ඇන්ටිඕකස් දුන් පොරොන්දුව

11 මෙහි ප්‍රතිඵලය වශයෙන්, එහි දී, ඔහු දුබල තත්ත්වයේ සිටියදී ම, තමාගේ අධික අහංකාරය ඉවත දමා දේව දඬුවම යටතේ සිහි කල්පනාව ලබාගත්තේ ය. මන්ද, ඔහු නිතර ම වේදනාවෙන් දුක් වින්දේ ය. 12 ඔහුගේ දුගඳ ඔහුට ම පවා ඉවසාගත නොහැකි වූයෙන්, ”දෙවියන් වහන්සේට යටත්වීම යෝග්‍ය දෙයකි, මැරෙන සුලු කිසිවෙක් දේවත්වය සමඟ සමානත්වයක් ලැබීමට තැත් නො කළ යුතු ය” කෑගසා කීවේ ය. 13 ඉන්පසු මේ කාලකණ්ණියා සමිඳාණන් වහන්සේට මෙහි පහත දක්වන දේවල් පොරොන්දු විය. එහෙත් උන් වහන්සේ ඔහු තවදුරටත් බේරාගන්නට අදහස් නොකළ සේක. 14 ඒ පොරොන්දු මේවා ය: පොළොවට සමතලා කොට එය මහා මිනීවළක් බවට හරවනු පිණිස අල්ලා ගැනීමට අදහස් කරගෙන ඔහු දිව ආ ජෙරුසලම නමැති ශුද්ධ, නගරය නිදහස් නගරයක් බව ප්‍රකාශ කිරීම; 15 වළලා දමන්නට පවා නුසුදුසු ය යි ද, කුරුල්ලන්ගේ ද, මෘගයන්ගේ ද ගොදුරට පමණක් සුදුසු ය යි ද ඔහු කලින් සිතූ ජුදෙව්වන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් ඇතැන්ස් නුවර පුරවැසියන් භුක්ති විඳින වරප්‍රසාදවලට සමාන වරප්‍රසාද දානය කිරීම; 16 ඔහු කලින් කොල්ලකෑ දේව මාලිගාව ඉතා අනර්ඝ තෑගිවලින් අලංකාර කිරීම; ඔහු පැහැරගත් පූජනීය බඳුන් වෙනුවට වෙනත් ඒවා ඉතා බහුල ව ගෙන ඒම; තමාගේ ම ආදායමෙන් පුද පූජාවන් සඳහා වැය වන මුදල් දීම සහ 17 මේ සියල්ලට ම අමතර ව, ඔහු ජුදෙව්වෙකු වී දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය මිනිසුන් වසන සෑම තැන්හි ම ප්‍රකාශ කරන පිණිස යාම ය.

ඇන්ටිඕකස් ජුදෙව්වන්ට හසුනක් යැවීම

18 දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ සාධාරණ තීන්දුව අනුව ඔහුට දඬුවම් කළ බැවින් තමා වින්ද එම වේදනාවෙන් කිසිසේත් සහනයක් ඔහුට නොලැබිණි. එබැවින් ඔහු තමා ගැන ම තිබූ බලාපොරොත්තු සියල්ල ම අත්හැරදමා බැගෑපත් ආයාචනයක ස්වරූපයෙන් පහත දැක්වෙන හසුන් ජුදෙව්වරුන් වෙත යැවී ය.
19 ”මාගේ පුරවැසියන් වන ශ්‍රීමත් ජුදෙව් ජනතාවෙනි, ඔබේ රජු වූ ද ප්‍රධාන සෙන්පති වූ ද ඇන්ටිඕකස් වන මම සුබ පැතුම් ඔබ වෙත එවමි. සව් සිරි සැප හා නිදුක් නීරො‍්ගි බව ඔබ සැමට ප්‍රාර්ථනා කරමි. 20 ඔබත් ඔබගේ දරුදැරියනුත් යෙහෙන් වෙසෙමින්, ඔබගේ කාරණා කටයුතු නිසි පරිදි ඉටු වේ නම් මම ද ඒ ගැන මාගේ බලාපොරොත්තුව ස්වර්ගය වෙත යොමුව ඇති බැවින් ඉත සිතින් සතුටු වෙමි. 21 මම, සෙනෙහෙ පිරි සිතින්, ඔබ මට ගෞරවය හා හොඳ හිත දැක්වූ බව සිහි කරමි. මම පර්සියා දේශයෙන් ආපසු හැරී ආ විට තදින් රො‍්ගාතුර වීමි. එබැවින් සියල්ලන්ගේ පොදු ආරක්ෂාව සඳහා කටයුතු සූදානම් කිරීම අවශ්‍ය ය යි මට සිතුණි. 22 මාගේ තත්ත්වය ගැන මට හොඳ බලාපොරොත්තු නැතුවා, නොවේ. මාගේ අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි වේ ය යි මම ඉතා තදින් බලාපොරොත්තු වී සිටිමි. 23 එහෙත් මගේ පියා කඳුකරය බලා යුද්ධ ව්‍යාපාරයකට යන සෑම විට ම ඔහු වෙනුවෙන් කෙනෙකු පත් කර ගිය බව මම දනිමි. 24 මන්ද, යම් කිසි බලාපොරොත්තු නොවූ සිද්ධියක දී හො‍් දූෂමාන ආරංචියක් පැතිර ගිය විටක හො‍් පළාතේ සෙනඟ රාජ්‍ය පරිපාලනය කවරෙකුට භාර දී තිබේ දැ යි දැනගෙන කරදර නොවී සිටිනු ඇත. 25 ඇරත් අපගේ දේශ සීමාවන්හි සිටින රාජ කුමාරවරුන් ද අපගේ රාජ්‍යයේ අසල්වාසීන් ද යථා තත්ත්වය විභාග කරමින්, සිදු වන්නේ කුමක් දැ යි සිතා බලමින් සිටින බව මා දන්නා බැවින්, මම මාගේ පුත් ඇන්ටිඕකස් රාජකීය පදවියට නම් කෙළෙමි. කඳුකරයේ යටත් විජිතවලට මා යද්දී බොහෝ වාරයක් මම ඔහුට මෙසේ රාජ්‍යය භාර දී ඔහු ගැන ඔබ සැම ඉදිරියෙහි ප්‍රශංසා මුඛයෙන් කතා කෙළෙමි. ඔහුට දුන් මාගේ ලිපියේ පිටපතක් මීට අමුණා ඇත. 26 පසුගිය කාලයේ දී මා ඔබට ප්‍රසිද්ධියේ හා පෞද්ගලික ව දුන් රාජ වරප්‍රසාද සිහි කරන ලෙසට ද, ඔබ අතරෙන් සෑම කෙනෙක් ම මා වෙත සහ මාගේ පුත්‍රයා වෙත ඇති හොඳ හිත නොකඩවා තබාගන්න ලෙස ද, මම ඔබගෙන් ඉතා ඇවිටිලි ව ඉල්ලා සිටිමි. 27 ඔහු මාගේ ප්‍රතිපත්ති කරුණා පෙරදැරි ව සහ සානුකම්පිත ව අනුගමනය කොට, ඔබේ සෞභාග්‍යය සඳහා ක්‍රියා කරන බව මම විශ්වාස කරමි.”
28 මෙලෙස ලියූ පසු, මේ මිනීමරුවා හා දේව අපහාසිකයා, ඔහු අනික් අයට දුන් දුක් වේදනා ඔහු ම භයානක ලෙස විඳ, ඔහුගේ කාලකණ්ණි ඉරණමට මුහුණ දී, බොහෝ දුරින් පිහිටි, වාසයට නුසුදුසු, කඳුකරයෙහි මියගියේ ය. 29 ඔහුගේ මිතුරු පිලිප් ඒ මෘත ශරීරය ආපසු ගෙන ආ නමුත්, ඇන්ටිඕකස්ගේ පුත්‍රයාට බියෙන් මිසරයේ ටොලමි පිලෝමිටර්ගේ රජ වාසලට යන්ට ගියේ ය.