ස්වර්ගයේ දේව නමස්කාරය
1 ඉන්පසු මෙන්න, අහසේ දොරක් ඇරී තිබෙනු මම දිටිමි. හොරණෑ හඬක් මෙන් කලින් මට කතා කළ එම හඬ, ”මෙහි නැඟී එන්න. මින්පසු සිදු වෙන්නට යන දේ මම ඔබට පෙන්වන්නෙමි”යි කී ය. 2 එකෙණෙහි ම මම ආත්මයාණන් වහන්සේගේ බලයට යටත් වී සිටියෙමි. ස්වර්ගයෙහි සිංහාසනයක් තිබිණි. ඒ සිංහාසනයෙහි කෙනෙක් වැඩ උන්හ. 3 එහි වැඩහුන් තැනැන් වහන්සේ පෙනුමෙන් සූර්යකාන්තයට හා පුෂ්පරාගයට සමාන වූ සේක. සිංහාසනය වටා මරකත මෙන් දිළෙන දේදුන්නක් විය. 4 මේ සිංහාසනය වටේ තව සිංහාසන විසිසතරක් විය. ඒ සිංහාසනවල කුලදෙටුවන් විසිසතරදෙනෙකු ධවල වස්ත්‍ර හැඳ, සිය හිස් මත රන් ඔටුනු දරාගෙන වාඩි වී සිටිනු මම දිටිමි. 5 සිංහාසනයෙන් විදුලිය ද ශබ්ද ද අහස් ගිගුරුම් ද නික්මිණි. සිංහාසනය ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබිණි. ඒ සත නම් දෙවියන් වහන්සේගේ ආත්මයෝ සත් දෙනා ය. 6 සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමාන වීදුරු සමුද්‍රයක් වැනි දර්ශනයක් විය.
ඒ සිංහාසනය මැද හා අවටින්, ඉදිරියෙන් හා පිටුපසින්, ඇස් රාශියක් ඇති ජීවමාන සත්ත්වයෝ සතර දෙනෙක් වූ හ. 7 පළමු වන සත්ත්වයා සිංහයෙකුට සමාන ය. දෙ වන සත්ත්වයා වස්සෙකුට සමාන ය. තුන් වන සත්ත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබිණි. සතර වන සත්ත්වයා පියාසර කරන රාජාලියෙකුට සමාන ය. 8 ඒ සත්ත්වයන් සතර දෙනාගෙන් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිණි. ඔවුන් වටකර ද ඇතුළත ද ඇස්වලින් පිරී තිබුණේ ය. ඔව්හු, ”වැඩ සිටි, වැඩ සිටින, මතු වඩින සර්වපරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය”යි දිවා රෑ දෙක්හි නොනැවතී ගයන්නාහ. 9 ඒ ජීවමාන සත්ත්වයන් සිංහාසනයෙහි වැඩ හිඳින, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේට ප්‍රශංසාව ද ගෞරවය ද ස්තුතිය ද දෙන හැම විට ම, 10 කුලදෙටුවෝ විසිහතර දෙනා ද, සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේට නමස්කාර කරති. එසේ කරමින් ඔව්හු සිය ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා:
11 ”අපගේ සමිඳාණන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාව ද ගෞරවය ද බලය ද, ලබන්නට වටින තැනැන් වහන්සේ ය.
මන්ද, ඔබ සියලු දේ මවා වදාළ සේක.
ඔබගේ කැමැත්ත නිසා, සියලු දේ ඇති විය.
සියලු දේ මවන ලද්දේ ය”යි
කියන්නාහ.