එළිදරව් – 5 වන පරිච්ඡේදය –

ජීවන පොත සහ බැටළු පෝතකයාණෝ

1 එවිට ඇතුළත හා පිටත ලියන ලද, මුද්‍රා සතකින් මුද්‍රා තැබූ පොතක් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතෙහි තිබෙනු දිටිමි. 2 ”ඒ පොත දිග අරින්නටත්, මුද්‍රා කඩන්නටත් සුදුස්සා කවරෙක් දැ”යි කියමින් මහ හඬින් හඬගසන බලවත් දේව දූතයෙකු දිටිමි. 3 එහෙත් ඒ පොත දිග හරින්නට වත්, එය බලන්නට වත් හැකි කිසිවෙක් ස්වර්ගයෙහි වත්, මිහි පිට වත්, පොළොවෙන් යට වත් නොසිටියේ ය. 4 පොත දිග අරින්නට වත්, එය බලන්නට වත්, සුදුසු කිසිවෙකු හමු නො වූ බැවින් මම බොහෝසේ හැඬුවෙමි. 5 එවිට එක් කුලදෙටුවෙක් මට කතා කර, ”නාඬන්න, පොත ඇරීමේ සහ එහි මුද්‍රා සත කැඩීමේ වරම දාවිත්ගේ පෙළපතින් පැවත එන ජුදා ගෝත්‍රයේ සිංහයාණෝ දිනාගත්හ”යි මට කී ය.
6 එවිට සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් සතර දෙනා ද කුලදෙටුවන් ද මධ්‍යයෙහි මරනු ලැබුවාක් මෙන් පෙනුණු බැටළු පෝතකයෙකු සිටිනු මම දිටිමි. ඒ බැටළු පෝතකයාට අං සතක් ද ඇස් සතක් ද විය. ඇස් සත නම්, ලොව පුරා යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයෝ සත් දෙනා ය. 7 බැටළු පෝතකයාණෝ අවුත් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතින් පොත ගත්හ. 8 එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් සැදැහැවතුන්ගේ යාච්ඤා ය.
9 ඔව්හු මේ අලුත් ගීතය ගායනා කළහ:
”පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් සුදුසු තැනැන් වහන්සේ ඔබ ය.
මන්ද, ඔබ මරනු ලැබ, ඒ aමරණය නමැති මිලයෙන් සියලු ගෝත්‍රවලින් ද භාෂාවලින් ද ජනයාගෙන් ද ජාතීන්ගෙන් ද මිනිසුන්, දෙවියන් වහන්සේ උදෙසා ලබාගත් සේක.
10 අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක;
ඔව්හු මිහි පිට රජකම් කරන්නාහ,”
11 එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් ද කුලදෙටුවන් ද සිසාරා සිටි මහා දේව දූත පිරිසක් දිටිමි. ඔවුන්ගේ හඬ ද මට ඇසුණේ ය. ඔවුන්ගේ ගණන දස දහසක් වර දස දහසක් ද දහස් වර දහසක් ද විය. 12 ඔව්හු මහ හඬින් මෙසේ කී හ:
”මරනු ලැබූ බැටළු පෝතකයාණෝ බලය ද ධනය ද ප්‍රඥාව ද පරාක්‍රමය ද ගෞරවය ද මහිමය ද ප්‍රශංසාව ද ලබන්නට සුදුසු තැනැන් වහන්සේ ය.”
13 තවද, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද පොළොව යට ද මුහුදෙහි ද යන මුළු ලෝකයෙහි ඇති සියලු සත්ත්වයන්:
”සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් ප්‍රශංසාව ද ගෞරවය ද මහිමය ද පරාක්‍රමය ද සදහට ම වේ වා!”යි
කියනු ඇසීමි. 14 ජීවමාන සත්ත්වයෝ සතර දෙනා ද ”ආමෙන්” යයි කී හ. කුලදෙටුවෝ වැඳ වැටී නමස්කාර කළහ.