ජුදිත් වීරවරිය
1 ඒ දවස්වල දී ජුදිත් නම් කාන්තාව මේ සිද්ධීන් ගැන ඇසුවා ය. ඇගේ වංශාවලිය මෙසේ ය: ඉශ්රායෙල්ගේ පුත්‍රයා සරසදේ ය; මොහුගේ පුත්‍රයා සලමියෙල් ය; මොහුගේ පුත්‍රයා නතනායෙල් ය; මොහුගේ පුත්‍රයා එලියාබ් ය; මොහුගේ පුත්‍රයා හිල්කියා ය; මොහුගේ පුත්‍රයා එලියා ය; මොහුගේ පුත්‍රයා ආකිතොබ් ය; මොහුගේ පුත්‍රයා රපායිම් ය; මොහුගේ පුත්‍රයා ගෙදෙයොන් ය; මොහුගේ පුත්‍රයා අනානියාස් ය; මොහුගේ පුත්‍රයා එල්කියා ය; මොහුගේ පුත්‍රයා ඔසීයෙල් ය; මොහුගේ පුත්‍රයා ජෝශප් ය; මොහුගේ පුත්‍රයා ඔක්ස් ය; මොහුගේ පුත්‍රයා මෙරාරි ය; මොහුගේ දුව ජුදිත් වූවා ය. 2 ඇගේ ගෝත්‍රයෙන් හා වංශයෙන් වූ මනස්සේ නම් ඇගේ පුරුෂයා, යව අස්වැන්න කාලයෙහි දී මළේ ය. 3 ඔහු කෙත්වල ගොයම් මිටි බඳිමින් සිටි අය පරිපාලනය කරමින් සිටිය දී තද අව්වේ සිටීමෙන් වූ පීඩාවෙන් ඔත්පල වී මියගියේ ඔහුගේ නුවර වූ බෙතුලියාවේ දී ය. ඔහුගේ මෘත ශරීරය එහි දෝතාන් හා බලමොන් අතර පිට්ටනියෙහි ඔහුගේ පවුලේ සුසාන භූමියෙහි භූමදාන කරන ලද්දේ ය. 4 වැන්දඹුවක් වූ ජුදිත් අවුරුදු තුනකුත් මාස සතරක් තම ගෘහය තුළ ජීවත් වූවා ය. 5 ගෙයි පියස්ස උඩ ඈ තමාට උඩුමහල් කාමරයක් පිළියෙළ කරවාගත්තා ය. 6 ඈ තම ඉඟ වටේ ගෝනි රෙද්දක් දවටාගෙන ශෝකය අඟවන ඇඳුම් හැඳගෙන, සබත් දිනට පෙර දින හා සබත් දිනවල ද අමාවකට පෙර දින හා අමාවක දිනවල ද, ඉශ්රායෙල් ජාතියේ මංගල දිනවල ද හැර ඇගේ කනවැන්දුම් කාලයේ අනික් සෑම දිනවල ම උපවාසයෙන් සිටියා ය. 7 ඈ ශෝභමාන වූ දැකුම්කළු ස්ත්‍රියකි. සිය ස්වාමි පුරුෂයා වූ මනස්සේගෙන් ඇයට රන් රිදී ද, සේවක සේවිකාවන් ද ගව පට්ටි හා කෙත්වතු ද ලැබී තිබුණේ ය. 8 මේ සියලු දේපළ මැද වාසය කළ ඈට විරුද්ධ ව දෝෂාරෝපණය කරන්නට කිසිවකුට කිසිවක් ද නොතිබිණි. මන්ද, ඈ දෙවියන් වහන්සේ කෙරෙහි මහත් ගරුබියෙන් යුක්ත ව සිටි හෙයිනි.
ජුදිත් සහ ප්‍රජා මූලිකයෝ
9 ජනයා ජල හිඟයෙන් අධෛර්යයට පත් ව නුවර ප්‍රධානියා වෙත ගොස් මැසිවිලි කී බව ඈ දැනගත්තා ය. උසියා ඔවුන්ට කියූ සියලු දෙයත් දවස් පහකට පසු ව නුවර අසිරියන්වරුන්ට පාවා දෙන බවට ඔහු දිවුරුම් පිට කියා තිබුණු දේත් ඈ දැනගත්තා ය. 10 ඉන්පසු නුවරෙහි ප්‍රජා මූලිකයන් වන චබ්රිස් හා චර්මිස් කැඳවන පිණිස ඈ තමාගේ සියලු දේපළ භාර ව සිටි මෙහෙකාරිය යැව්වා ය. 11 ඔවුන් තමා වෙත ආ කල ඈ මෙසේ කීවා ය: ”බෙතුලියාවේ වැසියන්ගේ ප්‍රධානියෙනි, මට සවන් දෙන්න. ඔබ අද සෙනඟ ඉදිරියෙහි කළාක් මෙන් කතා කිරීමෙන් ද, නියම කරන ලද කාලය තුළ දී සමිඳාණන් වහන්සේ ඔබට සහාය නොවන සේක් නම් නුවර සතුරන්ට පාවා දීමට උන් වහන්සේට විරුද්ධ ව දිවුරුමකින් බැඳීමෙන් ද වරදක් කළහු ය. 12 මේ දවසේ දී දෙවියන් වහන්සේ පරීක්ෂා කරන්නට ද, මනුෂ්‍යයන් අතරෙහි උන් වහන්සේට ඉහළින් උසස් වන්නට ද ඔබ කවරහු ද? 13 ඔබ දැන් සියල්ලන් අතරින් සවි බලැති සමිඳාණන් වහන්සේ පරීක්ෂණයකට භාජනය කරන්නහු ය. ඔබ කිසිවක් කවදාවත් තේරුම් නොගන්නහු ය. 14 මනුෂ්‍ය හෘදය සෝදිසි කර බලන්නට ද ඔහුගේ සිතේ තර්ක විතර්ක විසඳන්නට ද ඔබට නොහැකි නම්, සියලු දේ මැව් දෙවියන් වහන්සේ තේරුම් ගන්නට හෝ උන් වහන්සේගේ සිත සෝදිසි කර බලන්නට හෝ උන් වහන්සේගේ අරමුණ අවබෝධ කරගන්නට හෝ ඔබට හැකි වන්නේ කෙසේ ද? සහෝදරවරුනි, එසේ කිරීමෙන්, අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ කෝපය නොඅවුස්සන්න. 15 මේ දවස් පහ අවසාන වෙන්න පෙර අප ගැළවීම උන් වහන්සේගේ අදහස නොවුවත්, පසු ව උන් වහන්සේ කැමැති දවසක අප ආරක්ෂා කිරීමට උන් වහන්සේට පිළිවන. එසේ ම අපේ සතුරන් ඉදිරියෙහි අප විනාශ කරන්නට ද උන් වහන්සේට පිළිවන. 16 එහෙත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ අභිප්‍රායයන් සම්බන්ධයෙන් ඇපවීමක් ඉල්ලීමට ඔබට අයිතියක් නැත. මන්ද, තර්ජනය කර, මිනිසෙකු පොළඹවන්නාක් මෙන් දෙවියන් වහන්සේ පෙළඹවීම කළ නොහැකි හෙයිනි. මිනිසෙකු මෙන් උන් වහන්සේ චාටුවෙන් රවටා ගත නොහැකි හෙයිනි. 17 එහෙයින් අප ගළවන තෙක් උන් වහන්සේ කෙරෙහි ඉවසිල්ලෙන් බලා සිටින අතර අපට සහාය වන ලෙස ඉල්ලා සිටීම හොඳ ය. උන් වහන්සේ කැමැති වන සේක් නම්, අපේ හඬට ඇහුම්කන් දෙනු ඇත.
18 ”ඇත්ත වශයෙන් අපේ පරම්පරාවෙහි ද, මේ වර්තමාන කාලයෙහි ද, අපේ ගෝත්‍රවලින් එකක් වත්, අපේ පෙළපත්වලින් එකක් වත්, අපේ ග්‍රාමවලින් එකක් වත්, අපේ නුවරවලින් එකක් වත් කිසි ලෙසක මනුෂ්‍යයන්ගේ හස්තවලින් සාදනු ලැබූ දෙවිවරුන් ඉදිරියෙහි, පුරාණ කාලයෙහි දී මෙන් වැඳ වැටුණේ නැත. 19 පෙර කල අපේ පියවරුන් කඩුවටත්, කොල්ලයටත් පාවා දෙනු ලැබුයේ ද, ඔවුන්ගේ සතුරන් ඉදිරියෙහි දුඃඛිත ලෙස විනාශ වූයේ ද ඒ නිසා ය. 20 එහෙත් අපි උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙකු නොදනිමු. එහෙයින් උන් වහන්සේ අප හෙළා නොදකින සේකැ යි ද අපේ ජාතිය අත් නොහරින සේකැ යි ද බලාපොරොත්තු වන්නට අපට පිළිවන.
21 ”ඔබ බලාපොරොත්තු වන ප්‍රකාර ඔව්හු අප අල්ලාගන්නෝ නම්, මුළු ජුදාවත් අල්ලාගනු ලබන්නේ ය; අපේ ශුද්ධස්ථානය ද කොල්ලකනු ඇත. එවිට ඔවුන්ගේ මේ කෙලෙසීමට අපි අපේ ලෙයින් ප්‍රත්‍යුත්තර දෙන්නෙමු. 22 අපේ සහෝදරයන් ඝාතනය කරනු ලැබීම ද, දේශයෙන් පිටුවහල් කරනු ලැබීම ද, අපේ උරුමය ජන ශූන්‍ය කරනු ලැබීම ද ජාතීන් අතර සිටින අපේ හිස පිටට පරාවර්තනය වී, අපි ඒ ජාතීන්ගේ වහල්ලු වන්නෙමු නම්, එවිට අපි අපේ අලුත් ස්වාමිවරුන්ට පිළිකුලක් ද ලජ්ජාවට කාරණයක් ද වන්නෙමු. 23 මන්ද, අපේ වහල්කම ඔවුන්ගේ කරුණාව ලබා ගැනීමට මාර්ගයක් නොවන අතර ම අපේ දෙවි සමිඳාණන් වහන්සේ එය ලජ්ජා සහිත දඬුවමක් කරනු ඇත. 24 එහෙයින් සහෝදරවරුනි, අපේ සහෝදරයින්ට හොඳ ආදර්ශයක් දෙමු. මන්ද, ඔවුන්ගේ ප්‍රාණය අප පිට රඳා පවත්නා හෙයිනි. අපට ඇති ඉතා ශුද්ධ වස්තු වන දේව මාලිගයත්, පූජාසනයත් අප පිට රඳා පවත්නා හෙයිනි.
25 ”මේ සියලු හේතු ගැන කල්පනා කර අපේ පියවරුන් පරීක්ෂා කර බැලුවාක් මෙන් අප ද පරීක්ෂා කර බලන අපේ දෙවි ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. 26 උන් වහන්සේ ආබ්‍රහම්ට කළ සියලු දේ ද, ඊසාක්ගේ සියලු දුක් අමාරුකම් ද සිරියානු මෙසොපොතේමියාවේ දී ජාකොබ්ට තම මවගේ සහෝදරයා වූ ලාබාන්ගේ බැටළුවන් බලාගෙන සිටිය දී සිදු වූ සියලු දේවල් ද සිහිපත් කරන්න. 27 මන්ද, දෙවියන් වහන්සේ ඔවුන්ගේ හෘදයන් සෝදිසි කර බලනු පිණිස ඔවුන්ට මේ දුක් කරදර ඇති වන්නට ඉඩ දුන්නාක් මෙන් උන් වහන්සේ අපෙන් පළිගන්නවා නොව සමිඳාණන් වහන්සේට ඇලුම් ව සිටින්න අනතුරු ඇඟවීමක් වශයෙන් කලින් පහර දෙන සේක.”
28 මෙය ඇසූ උසියා ඇයට උත්තර දෙමින් මෙසේ කීවේ ය: ”ඔබ දැන් කී හැම දේ අවංක සිතින් කීවෙහි ය. එයට විරුද්ධ ව යමක් කියන්නට කිසිවෙකුට නොපිළිවන. 29 ඔබේ ප්‍රඥාව ප්‍රකාශ කරන ලද පළමු වන වතාව මෙය නොවේ. ඔබේ ජීවිතයේ මුල් අවදියේ පටන් ම මුළු සෙනඟ ඔබේ දක්ෂකම ද ඔබේ හෘදයේ විශිෂ්ටත්වය ද දැනගත්තෝ ය. 30 එහෙත්, ජනයා පිපාසයෙන් පීඩිත ව අප ඔවුන්ට පොරොන්දු වී තිබුණ දේ කිරීමට ද අවලංගු නොකළ හැකි දිවුරුමකින් බැඳීමට ඔව්හු අපට බල කළෝ ය. 31 ඔබ භක්තිමත් ස්ත්‍රියක වන බැවින් අප ක්ලාන්ත නොවන පිණිස අපේ ළිං පුරවන්නට තද වැස්සක් එවන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න.”
32 ඉන්පසු ජුදිත් උත්තර දෙමින්, ”මට හොඳින් සවන් දෙන්න. අපේ ජාතියේ දරුවන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට සිහි කරනු ලබන ක්‍රියාවක් මම කරන්නට අදහස් කරමි. 33 අද රාත්‍රියෙහි ඔබ නුවර දොරටුව ළඟ සිටිය යුතු යි. මම මාගේ මෙහෙකාරිය සමඟ පිටතට යන්නෙමි. අපේ සතුරන්ට නුවර පාවා දීමට ඔබ කල්පනා කළ දිනයට පෙර මාගේ මැදහත්වීමෙන් සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ගළවාගනු ඇත. 34 එහෙත්, මා කරන්නට අදහස් කරන්නේ කුමක් දැ යි නොඅසන්න. මා එය නිම කරන තුරු ඔබට නොදන්වන්නෙමි”යි කීවා ය. උසියා සහ ප්‍රධානියා ඇයට කතා කොට, ”සාමදානයෙන් යන්න. දෙවියන් වහන්සේ අපේ සතුරන්ගෙන් පළිගන්නට ඔබට මඟ පෙන්වන සේක් වා”යි කී හ. ඔව්හු ද උඩුමහල් කාමරයෙන් පිට වී තම මුර ස්ථානවලට ගියෝ ය.