හැඳින්වීම
කතෝලික බැතිමතුන්ගේ දේව වන්දනාව වර්ෂ තුනකින් යුක්ත කතෝලික ලිතකින් සකස් වී ඇත. එක් එක් වර්ෂය “ජනවන්දනා වසර” 1,2 හා 3 යන යනාදී වශයෙන් නම් කෙරේ. එම කතෝලික ජනවන්දනා ලිතට අනුව විවිධ මංගල්‍ය උත්සව සැමරීම සිදුවේ. ජනවන්දනා ලිතේ 3 වන වර්ෂය අවසන් වූ විට නැවත 1 වන වර්ෂය ආරම්භ වේ. මේ අනුව මෙම ජනවන්දනා වර්ෂ තුන චක්‍රාකාර ස්වභාවයක් ගනියි. එබැවින් එය “ජනවන්දනා චක්‍රය” යන නමින් ඇතැම් අය හඳුන්වති. සාමාන්‍යයෙන් ජනවන්දනා වර්ෂයක් ආරම්භ වන්නේ “ආගමන කාලය” යන නමින් හඳුන්වන සති හතරකින් යුත් ආධ්‍යාත්මික සූදානම් වීමේ විශේෂ කාලයක (පළමුවන) ඉරු දිනක දී ය. (1) ජනවන්දනා වර්ෂයක් අවසන් වන්නේ “ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය”යන නමින් හඳුන්වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ සැමරුමකිනි. මිනිස් වර්ගයාට ගැළවීම හා විමුක්තිය අත්කර දුන් ක්‍රිස්තුස් වහන්සේ මුළු විශ්වයේ ම රජාණන් වශයෙන් පිළිගෙන ඔවුන් වහන්සේට විශේෂාකාරයෙන් ගෞරව නමස්කාර කිරීම මෙම මංගල්‍යය සැමරීමෙන් සිදු කෙරේ.
ක්‍රිස්තු රජාණන් පිළිබඳ ශුද්ධ බයිබලීය ඉගැන්වීම්
ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව ගාබ්‍රියෙල් දේවදූතයා මරිය තුමියට දැනුම් දීම පිලිබඳ සිද්ධියේ දී, “දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමින් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරේ සදහට ම රජකම් කරන සේක, උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොවන්නේ ය”යනුවෙන් ලූක් තුමා පෙන්වා දී ඇත. (ලූක් 1 : 32 – 33)
දාවිත් රජුගේ නුවර වූ බෙත්ලෙහෙම හි”ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණන් කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, උන් වහන්සේට නමස්කාර කරන පිණිස ආවෙමු” යි පෙරදිගින් පැමිණි ශාස්ත්‍රවන්තයෝ මහ හොරෝද් රජුට කීහ. (මතෙව් 2 : 1 – 2)
“වැදගැම්මක් ඇති කිසිවක් නාසරෙතින් නික්මේ ද?” යි ප්‍රශ්න කළ අවංකයෙකු වූ නතානියෙල් නමැති පරිසිවරයා ජේසුස් වහන්සේව දැක, “….ඔබ වහන්සේ නම් ඉශ්රායෙල් හී රජිඳාණෝ ය”යි පිළිතුරු දුන්නේ පුරාණ ගිවිසුමේ ජනතාව බලාපොරොත්තු වූ ස්වර්ගයෙන් මෙලොවට වඩින ස්වර්ගීය රජාණන් ජේසුස් වහන්සේ බව පසක් කර ගැනීම නිසා ය. ජේසුස් වහන්සේ රාජ තේජසින් ජෙරුසලම් නුවරට කොටළුවෙකු පිට නැගී සම්ප්‍රාප්ත වීම පිළිබඳ සිද්ධිය මතෙව් තුමා සෙකරියස් (9 : 9) දිවැසිවරයාගේ දිවැස්වැකිය උපුටා දක්වමින්,
“බලන්න, ඔබේ රජ
කොටළුවෙකු පිට,
එසේය, කොටළු වස්සෙකු පිට නැගී,
යටහත් පහත් ලෙස
ඔබ වෙත එන්නේ යයි
සියොන් වැසියන්ට දන්වන්න” (මතෙව් 21 : 5)
යනුවෙන් ඔවුන් වහන්සේගේ රාජකීයත්වය පෙන්නුම් කර ඇත. සියොනය යනු පුරාණ ගිවිසුමේ මිනිසුන් ජෙරුසලමට භාවිත කළ නාමයකි. බොහෝ විශාරදයන් මෙහිදී සියොනය යන්න පැමිණීමට නියමිත නව දේව රාජ්‍යය අදහස් කරන බව දක්වති. නව දේව රාජ්‍යය වනාහී අවසාන විනිශ්චයෙන් පසුව උදාවන යහපතුන්ගේ රාජ්‍යය ය. එහි රජාණන් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. සම්පූර්ණත්වයට පත් වීමට නියමිත දේව රාජ්‍යය කරා තේජශ්‍රීයෙන් වැඩම කරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූර්ව සලකුණක් ලෙස මෙම ජෙරුසලමට කොටළුවෙකු පිට වැඩම කිරීම දක්වා ඇත. ජොහාන් තුමාගේ සුභාරංචි පොතේ මෙය,
“හෝසන්නා !
ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩනා
තැනැන් වහන්සේට ආසිරි වේවා!
ඉශ්රායෙල් රජු හට ආසිරි වේවා”
යි, ඔල්වර හඬ නගමින් උන් වහන්සේ පෙරමගට පැමිණි’ බවය. (ජොහාන් 12 : 13)
පිළාත් නමැති රෝම ආණ්ඩුකාරවරයා ජේසුස් වහන්සේව විනිශ්චය කරමින්, “එසේ නම් නුඹ රජෙක් ද” යි ඇසූ ප්‍රශ්නයට, “මම රජෙක් යැයි ඔබ ම කියන්නෙහි ය”යනුවෙන් ජේසුස් වහන්සේ දුන් පිළිතුර තුළ ඔවුන් වහන්සේගේ රාජකීයත්වය ප්‍රකාශ වේ. පිලාත් ජේසුස් වහන්සේව ජුදෙව් ජනතාවට හඳුන්වා දුන්නේ, “මෙන්න ඔබේ රජ” යනුවෙනි. (ජොහාන් 19 : 14) එසේම ඔහු ජේසුස් වහන්සේගේ කුරුසිය මුදුනේ එල්ලා තැබූ පුවරුවේ “ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත් හි ජේසුස්” යැයි ලියවීය. (ජොහාන් 19 : 19)
ක්‍රෑර සෙබළුන් ජේසුස් වහන්සේට වධ හිංසා පමුණුවමින් නින්දා අපහාස කළේ, “ජුදෙව් රජතුමෙනි, සැරදේ!” යැයි කියමිනි. (ජොහාන් 19 : 3) ජේසුස් වහන්සේ කුරුසිය මත සිටිනු දුටු ජුදා ශ්‍රේෂ්ඨයන් අපහාස කරමින් කීවේ, “…මොහු ඉශ්රායෙල්වරුන්ගේ රජ නොවේද? එසේ නම් දැන් කුරුසියෙන් බසීවා…” යනුවෙනි. (මතෙව් 27 : 42)
මතෙව් 25 : 31 – 46 හි දැක්වෙන “ජාතීන්ගේ විනිශ්චය දවස” පිළිබඳ ඉගැන්වීමෙහි ජේසුස් වහන්සේව “රජ්ජුරුවන් වහන්සේ”ලෙසින් හඳුන්වා ඇත. (මතෙව් 25 : 31, 34) ජේසුස් වහන්සේ ස්වකීය උත්ථානයෙන් පසුව ස්වර්ගාරෝහණයට පෙර ඔලීව කන්ද වෙතට කැඳවා ගෙන ගිය තම ශ්‍රාවකයන්ට කීවේ, “ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා දී ඇත” යනුවෙනි. (මතෙව් 28 : 17) ජේසුස් වහන්සේ නැවත රාශ්‍රීයෙන් මෙලොවට වැඩම කරන තුරු ලෝකය තුළ ධර්මදූත කාර්යයෙහි නිරත වෙමින් දේව රාජ්‍යය සම්පූර්ණත්වය කරා ගෙන යාමේ වගකීම හා බලය ශුද්ධ සභාවට පැවරූ සේක. ඒ අනුව කිතුනු සභාවට ඇතුළුවීම යන්න දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි කොටස්කරුවන් වීමකි. ක්‍රිස්තුස් වහන්සේගේ රාජකීයත්වයට පංගුකාර වීමකි.
ශුද්ධ වූ පාවුළු තුමා පෙන්වා දෙන පරිදි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ “වනාහී භාග්‍යවත්, අසහාය, අධිපති රාජති රාජ, දේවාති දේව තැනැන් වහන්සේ ය. 19 : 16 හි “අන් වහන්සේගේ වස්ත්‍රයෙහි ද කළවයෙහි ද ‘රජවරුන්ගේ රජ ය, ස්වාමිවරුන්ගේ ස්වාමිය’ යන නාමය ලියා තිබේ” යැයි දැක්වේ.
ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යයේ ඉතිහාසය
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මුළු විශ්වයේ ම රජාණන් වශයෙන් පිළිගෙන ඔවුන් වහන්සේට වැඳ නමස්කාර කිරීම කතෝලික සභාව විසින් පවත්වනු ලැබිය යුතු මංගල්‍යයක් වශයෙන් නියම කළේ ක්‍රිස්තු වර්ෂ 1925 දී 11 වන පියුස් පාප්තුමා ය. [Pope Pius XI, – Click Here] ඊට හේතුව යුරෝපීය සමාජයෙන් ආර්මභ වී පසුව වෙනත් රටවල් තුළ ව්‍යාප්ත වෙමින් තිබූ නොයෙකුත් ජාතිවාදී සංකල්ප හා ලෝකයත්තවාදය [Secularism] යි. එම පාප්තුමා ක්‍රිස්තු වර්ෂ 1925 දෙසැම්බර් 11 දින නිකුත් කළ, “Quas Primas” (ලතින් භාෂාවෙන් “පළමුවෙන්” යන අදහස දෙන) විශ්ව හසුන් පතේ, ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය විශේෂ මංගලෝත්සවයක් ලෙසින් විස්තර කර ඇත. ඊට පෙර 13 වන ලියෝ පාප්තුමා රචිත “අන්නුම් සේකෘම්” [Annum Sacrum – ශුද්ධ වූ වසර] නම් වූ විශ්ව හසුන් පතේ ද, “ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය සමස්ත මානව වර්ගයාව පිළිගෙන වැළඳ ගන්නා බව” සඳහන් කර ඇත. ක්‍රිස්තු වර්ෂ 1960 දී 23 වන ජුවාම් පාප්තුමා [Pope John XXIII, – Click Here] සංශෝධනය කර සකස් කළ කැලැන්ඩරයේ ද මෙම ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය පළමු පෙළ මංගලෝත්සවයක් ලෙසින් ඇතුළත්ව තිබේ.(2) ක්‍රිස්තු වර්ෂ 1969 දී 6 වන පාවුළු පාප්තුමා “මිස්ටරී පාස්කාලිස්” [Mysterii Paschalis] නමින්, කතෝලික ජනවන්දනා කැලැන්ඩරය පාදක කොට ගෙන නිකුත් කළ ලේඛනයේ, “අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුළු විශ්වයේ ම රජාණෝ ය” [“D. N. Iesu Christi universorum Regis”] යන විශ්වාසයේ සත්‍යතා වගන්තියක් ප්‍රකාශයට පත් කළේ ය. එය මංගලෝත්සවයක් වශයෙන් නොවැම්බර් මස දී, ආගමන කාලයේ පළමු ඉරු දිනට පෙර ඉරුදින(3) පැවැත්විය යුතු බවට ද නියම කළේ ය.
ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යයේ වැදගත්කම
ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය වනාහී දේවධාර්මික වශයෙන් වැදගත්කමක් උසුළන සැමරුමක් වන්නේ, එමගින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රාජකීයත්වය ලොවට ප්‍රකාශ කරන අතර, එය ඔවුන් වහන්සේගේ රාජශ්‍රීය දෙවන ආගමනය හා සම්බන්ධ වූවක් වන බැවිනි. එසේම මෙම මංගල්‍යය වෙනත් කිතුනු සභාවන් ද විශේෂ කොට සළකන්නකි. 16 වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පාප්තුමා පෙන්වා දෙන ආකාරයට, “ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රජකම මෙලොව මනුෂ්‍ය බලයක් හෝ අධිකාරයක් මත නොව, ලෝකය තුළ සේවය කිරීම හා ප්‍රේමය දැක්වීම මත ගොඩනැගුණු දෙයක්” බව ප්‍රකාශ කර ඇත. එසේම කිතුනුවා එය පිළිගෙන එය තම ජීවිත ආදර්ශය තුළින් ප්‍රකාශ කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ. ජේසුස් වහන්සේගේ රාජකීයත්වය ලෞකික දේශපාලනමය රාජ්‍යයක් බිහි කිරීම සම්බන්ධයෙන් නොව, එය ඔවුන් වහන්සේව අදහන මිනිස් හදවත් තුළ ගොඩනැගුණකි. පිලාත් නමැති රෝම ආණ්ඩුකාරවරයා ජේසුස් වහන්සේගෙන් ඇසූ, “නුඹ ජුදෙව්වරුන්ගේ රජ ද?” යන ප්‍රශ්නයට ඔවුන් වහන්සේ දුන් දුන් පිළිතුර වන, “…..මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත, …..මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ” යන්නෙන් එය පැහැදිලි ය. ක්‍රිස්තුස් වහන්සේ රජාණන් වන්නේ අපගේ හදවත තුළය. කතෝලික සභාව ඇගේ අදෘෂ්‍යමාන නායකයාණන් වන ජේසුස් වහන්සේව ස්වකීය රජාණන් ලෙසින් සළකන්නීය. 16 වන බෙනඩික්ට් පාප්තුමා 2009 වසරේ ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය දින කළ දේශනයට අනුව,(4) ගාබ්‍රියෙල් දේවදූතයා මරිය තුමියට ජේසුස් වහන්සේගේ උපත දැනුම් දුන් මොහොතේ ඔවුන් වහන්සේ දාවිත් රජුගේ පරපුරෙන් පැමිණෙන බවත් ඔවුන් වහන්සේගේ රාජ්‍යය කිසිදා කෙළවර නොවන බවත් කී අතර, මරිය තුමිය ජේසුස් වහන්සේ උපත ලබන්නට පෙර සිට එය පිළිගෙන අදහා ගත්තා ය. මෙම නව රාජකීයත්වය වනාහී, ජේසුස් වහන්සේගේ වචනයට සවන් දීම එය වටහා ගෙන, විශේෂයෙන් ඔවුන් වහන්සේගේ දුක් විඳීම මරණය හා උත්ථානයට (පාස්කු අභිරහසට) වඩාත් සමීපව ජීවත්වීම තුළ අත්දැකිය යුත්තක් බව ඇය අවබෝධ කරගත්තා ය.
දෙවියන් වහන්සේ ද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව තිලොව රජාණන් ලෙස පත් කර ඇති බව පාවුළු තුමා මෙසේ ප්‍රකාශ කර ඇත.
“එබැවින් දෙවියන් වහන්සේ
උන් වහන්සේ අති උසස් තැනට නංවා,
සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය
උන් වහන්සේට දුන් සේක.
එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද,
පාතාල ලොකයෙහි ද සියල්ලන්,
‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්,
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ යයි
දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා,
සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය” (පිලිප්පි 2 : 9 – 11) ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටමෙම රාජකීයත්වයේ උරුමය ස්වර්ගයේ දී ම හිමිව තිබූවකි. ඔවුන් වහන්සේ මෙලොවට වැඩම කළේ එම රාජකීය දේවත්වය ඉවත ලා මනුෂ්‍ය ස්වභාවය ගෙන මිනිස් සංහතියට ගැළවීම හා විමුක්තිය උදා කරනු සඳහා ය. දේව කැමැත්ත හා සැලැස්මට සම්පූර්ණයෙන් අවනත වෙමින් කළ උදාර ප්‍රේමයේ ජීවිත පූජාවට ඔවුන් වහන්සේට ලැබුනු දේව තිළිණය වන්නේ මහිමාන්විත උත්ථානය හා නැවත එම රාජශ්‍රීයයේ උරුමය යි.
ක්‍රිස්තු රජාණන්ගේ මෙම මංගල්‍යය කිතුනු අප උත්සවාකාරයෙන් සැමරීම යනු, ක්‍රිස්තුස් වහන්සේව අප ජීවිත තුළට රාජකීයත්වයෙන් පිළිගැනීමක් වන අතර ඔවුන් වහන්සේගේ රාජකීයත්වයට ලොවට ප්‍රකාශ කිරීමකි. යහපත් ශුද්ධවන්ත ජීවිත ගත කිරීම මගින් ඔවුන් වහන්සේගේ අනාගත දිව්‍යමය රාජ්‍යයට ඇතුළත් වීමේ වරම හිමිකර ගැනීමට අප සැමට දිව්‍යමය කැඳවීමක් හිමි ය.එම කැඳවීම තුළ ජීවත් වෙමින් එම රාජ්‍යය අත්පත් කර ගැනීමට කිතුනු සැම දෙන උත්සහ කළ යුතුය.