ශු. දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවය

holy

තමන් වහන්සේගේ ගැලවීමේ කාර්යය සමාප්තියට පත් කරමින් නැවතත් පියාණන් වහන්සේ වෙත යාමට පළමුව, ක්‍රිස්තුන් වහන්සේ ඔවුන් වහන්සේවම ආහාරයක් කොට මිනිසාට ලබා දෙන්නේ මිනිසා කෙරෙහි ඇති අසීමිත ආදරය හේතුකොට ගෙනය. කෙනෙක් ප්‍රශ්න කරනවානම් කොහොමද ඔවුන් වහන්සේ තමන්ගේම ශරීරය ආහාරයක් ලෙස මිනිසාට ලබා දෙන්නේ හෝ කොහොමද මේ දේ කරන්නේ කියලා එයට උත්තරය බොහෝ සරල ප්‍රශ්නයක උත්තරයට සමානයි. එනම් කොහොමද අම්මා කෙනෙක් තමන්ගේ දරුවාට ලේ කිරි කර දෙන්නේ. උත්තරය නම් ආදරය නිසයි.

ජුදා සම්ප්‍රදායේ පමණක් නොව අනෙකුත් සංස්කෘතීන් වලද ආහාරයක් බෙදා ගැනීමෙන් සංකේතවත් කරන්නේ ජීවිතය බෙදා ගැනීමයි. අපගේ විශ්වාසී ජිවිතයේ පදනම හා හරය වන්නේ දිව්‍ය සත්ප්‍රසාදයයි. දෙවන වතිකානු මන්ත්‍රණ සහාව එය මනාව අපට පැහැදිලි කර දෙනු ලබයි. අපගේ ජිවිතයේ ශක්ති බලාගාරය වන්නේ එයයි. මන්ද එය ඔවුන් වහන්සේගේ ජීවමාන වැඩසිටිම වන නිසයි.

ආහාරයක් අනුභවයෙන් පසු තවදුරටත් එය වෙනත් දෙයක් නොව අපගේම ශරීරයේ කොටසක් බවට පත් වේ. එහි ප්‍රතිඵලය නම් ශක්තියයි. එම ශක්තිය මෙය යැයි වෙන් කොට පෙන්විය නොහැකිය. නමුත් අපගේ ක්‍රියාශිලත්වය මගින් ඒ ශක්තිය ජීවමාන කොට පෙන්විය හැකිය.

ක්‍රිස්තුන් වහන්සේම ජිවන ආහාරයක් ලෙස ලැබූ පසු ඔවුන් වහන්සේ අපගේ ශරීරය තුළ අප හා සමග ඒකාබද්ධ වේ. එවිට ශු. පාවුළු තුමන් කී ලෙස ” මා තුල ජිවත් වන්නේ මා නොව ක්‍රිස්තුන් වහන්සේ යයි” අපට පැවසිය හැකිය.

කෙනෙකුට පෝෂ්‍යදායි ආහාරයක් සපයා ගැනීම සදහා යම් වෙහෙසක්, දායකත්වයක් දැරිය යුතුව ඇත. එනම් එය උපයා ගත යුතුය. ශාරීරික පෝෂණය ලබා දෙන ආහාර ලබා ගැනීමට අප කෙරෙහි අවශ්‍යතාවයක්, උනන්දුවක් ඇතිවා සේම අනන්ත ජීවිතය හා ආත්මික පෝෂණය ලබා දෙන මෙම දිව්‍යමය පෝෂණය ලැබීමට අප දායකත්වයක් වෙහෙසක් දැරීමද කල යුතුවම ඇත. තවද ආහාර ලබා ගැනීමෙන් අප ලබන පෝෂණය ශක්තිය බවට පත් කර ඒවා දහනය නොකර අලසකමින් ගත කල හොත් අපගේ ශරීර අධික තරබාරුවටද රෝගී බවටද පත් වීම අනිවාර්යයෙන්ම සිදු වෙයි. එලෙසම අප ගන්නා වූ මෙම දිව්‍යමය ආහාරයේ පෝෂණය අපගේ හා අන් අයගේ යහපතට මෙන්ම එය ලබා දුන් තැනැත්තාගේ ගෞරවය ප්‍රශංසාව වෙනුවෙන් වැය කිරීමද අප සතු යුතු කමක් වේ.

එම නිසා මෙම මංගල දිනයේ අප අවදානය යොමු කල යුතු කාරණා කිහිපයකි. එනම් මෙම දිව්‍ය භෝජනය අප විසින් උපයා ගැනීමට කුමක් කල යුතු දැයි කල්පනා කිරීමද, එලෙසින්ම අප ලැබූ ආත්මික පෝෂණය අප සැමගේ යහපතට, දේව ප්‍රශංසාවට, දේව සේවයට ඔවුන් වහන්සේගේ ගෞරවය ප්‍රශංසාවට කෙලෙසින් වැය කරනවාද යන්න මෙනෙහි කිරීමත්ය. තවද ඔවුන් වහන්සේගේ දරුවන් වන අපට ඔවුන් වහන්ස්ගේ තුළ ඇති ආදරය, වටිනාකම් ප්‍රකාශ කිරීමට ලබා දිය හැකි උපරිම ත්‍යාගය වන්නේද ඔවුන් වහන්සේගේම ජීවමාන වැඩ සිටීමයි. එනම් දිව්‍ය සත්ප්‍රසාදයයි. එනම් ආදරයයි.