තෝබිත් – 2 වන පරිච්ඡේදය –

තෝබිත්ගේ ඇස් අන්ධවීම

1 එසර්හද්දොන් රජු දවස මා ආපසු ගෙදර ආ විට මාගේ පුත් තෝබියස් සමඟ මාගේ බිරිඳ වන අන්නා මට නැවත බාර දෙන ලදී. අපගේ පූජනීය සති මංගල්‍යයේ දී අපට රසමසවුලෙන් යුත් ආහාර සංග්‍රහයක් පැවැත්විණි. කෑම ගැනීම සඳහා මම මාගේ ස්ථානයේ වාඩි වුනෙමි. 2 මේසය පිළියෙළ කළ පසු විවිධ කෑම බඳුන් මා වෙත ගෙනෙන ලදී. එවිට මම මාගේ පුත්‍රයා වන තෝබියස්ට කතා කොට, ”මාගේ පුත්‍රය, යන්න, ගොස් නිනිවය විප්‍රවාසගත වූ අපගේ සහෝදරයන් අතරෙන්, දිළිඳු පක්ෂපාත කෙනෙකු සොයාගෙන අප සමඟ ආහාර අනුභව කිරීමට ගෙනෙන්න. මා පුත නුඹ ආපසු එන තෙක් මම බලා සිටින්නෙමි”යි කීවෙමි. 3 එවිට තෝබියස් අපගේ සහෝදරයන් අතර දිළින්දෙකු සොයාගෙන එන පිණිස ගියේ ය. එහෙත් ඔහු ආපසු ඇවිත්, මට කතා කොට, ”පියාණෙනි”යි කී විට මම ද, ”ඇයි පුත, කුමක් දැ”යි උත්තර දුනිමි. ”පියාණෙනි, අපේ ජාතියේ කෙනෙකු මේ දැන් මරාදමා ඇත. ඔහුගේ බෙල්ල මිරිකා වෙළඳ පොළට වීසි කර ඇත. තවමත් මළකඳ එහි ය”යි ඔහු කීවේ ය. 4 මම ද හනික නැඟිට, කෑමට අත පවා නොතබා, වෙළඳ පොළින් ඔහු රැගෙන, වළලනු සඳහා ඉර බසින තෙක් මාගේ කාමරයක ඔහු තැබුවෙමි. 5 ඉන්පසු මම නැවත අවුත් ස්නානය කොට, දුකින් මාගේ ආහාරය ගනිමින්, 6 බෙතෙල් නම් නුවර ගැන දිවැසිවර ආමොස් කී මේ පණිවුඩය සිහි කෙළෙමි. එනම්,
”නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යයන් වනු ඇත;
නුඹලාගේ තුති ගී ළතෝනි වනු ඇත” යන්නයි.
7 මම ද හඬා, ඉර බැස ගිය විට ගොස්, වළක් කැණ ඔහු භූමදාන කෙළෙමි. 8 මාගේ අසල්වාසීහු ද සිනහවෙමින් ”බලන්න, ඔහු දැන් බය නැති හැටි! මීට කලින් ඔහු පලා ගියේ ය. එහෙත් දැන් මෙහි පැමිණ නැවත මළවුන් භූමදාන කරන්න පටන්ගත්තේ ය”යි කීවෝ ය. මෙසේ මළවුන් භූමදාන කිරීම නිසා යමෙකු මා මරා දැම්මොත් ඔහුට තෑග්ගක් ලැබෙන බවට අණක් තිබුණ බව ඔබ සිහි කළ යුතු යි.
9 එදින රාත්‍රියේ මම ස්නානය කෙළෙමි. පසු ව මම ගෙදර මළුවට ගොස් එහි බිත්තියක් ළඟ හාන්සි වුණෙමි. තද රස්නය නිසා මම මුහුණ වසා නොගත්තෙමි. 10 මාගේ හිසට ඉහළින් බිත්තියේ ගේ කුරුල්ලන් සිටි බව මම නොදැන සිටියෙමි. උන්ගේ උණුසුම් බෙටි මගේ දෙනෙතට වැටුණේ ය. එවිට සුදු පැල්ලම් හටගත් බැවින් මට වෛද්‍යවරයන්ගෙන් බෙහෙත් ගැනීමට සිදු විය. එහෙත් ඔවුන් බෙහෙත් ගාන පමණට ඇහේ සුදු පැල්ලම් වඩ වඩා මා අන්ධ කෙළේ ය. අන්තිමේ දී මම සම්පූර්ණයෙන් ම අන්ධයෙක් වුණෙමි. මෙසේ අවුරුදු හතරක් මට ඇස් පෙනීම නැති විය. මගේ සියලු සහෝදරයෝ ද කණගාටු වූ හ. අහිකාර් ද එලිමයිස් නම් නගරයට යන තෙක් අවුරුදු දෙකක් මාගේ නඩත්තුව සැපයී ය.
11 මාගේ බිරිඳ අන්නා එවිට ස්ත්‍රියකට නියම වැඩකරන්න පටන්ගත්තා ය. ඈ ලෝම කටින්නට ද රෙදි වියන්නට ද පටන්ගත්තා ය. 12 ඇයට කිරීමට බාර දුන් සියල්ලක් ම සාදා ආපසු දී ඒවාට මුදල් ගත්තා ය. මෙලෙස මාර්තු මාසයේ හත් වන දින ඈ යම්කිසි වැඩක් කර, එය දුන් අයට ඇය එය බාර දුන්නා ය. ඔව්හු ද ගෙවිය යුතු සියල්ල ගෙවූ පසු කෑමට එළු පැටියෙකු ද තෑග්ගක් වශයෙන් ඇයට දුන්නො‍් ය. 13 ඒ එළු පැටියා මාගේ ගෙදරට ආ විට කෑගසන්නට ගත්තේ ය. එවිට මම මාගේ බිරිඳ අමතා, ”මේ සතා ආවේ කොහින් ද? හොඳයි, ඌ හොරකම් කළ එකෙක් නම්! අයිතිකාරයාට ඉක්මනට ආපසු දෙන්න. හොරාගත් බඩු කෑමට අපට අයිතියක් නැතැ”යි කීවෙමි. 14 ඈ ද මට කතා කොට, ”එසේ නොවේ; ඌ මාගේ කුලියට අමතර ව දෙන ලද තෑග්ගකි”යි කීවා ය. මම ඇය විශ්වාස නොකෙළෙමි. අයිතිකාරයන්ට ඌ ආපසු දෙන්න කියා මම ඇයට කීවෙමි. මෙසේ කියන විට ඇය ඉදිරියෙහි මාගේ මුහුණ ලජ්ජාවෙන් රතු විය. ඇය ද පිළිතුරු දෙමින්, ”ඔබේ දාන ධර්ම කොහොම ද? ඔබේ ම යහපත් ක්‍රියා කොහොම ද? ඒවාට ඔබ ලැබූ පලවිපාක සියල්ලෝ ම දනිති”යි කීවා ය.